වැරදි කළ කවුරුත් සමාව ගනිමු - මහඇමති

Image copyright Suneth Perera
Image caption මහ ඇමතිවරයා සාම්පූර් පාසලේ දී

සාම්පූර් පාසල් උත්සවයක දී නාවික හමුදා නිලධාරියකු සමඟ ඇති වූ අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත කරුණු පැහැදිලි කරමින් ලිපියක් යොමු කරන නැගෙනහිර පළාතේ මහඇමති නසීර් අහමඩ් එම සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි සියලු දෙනා වෙත සිය පැහැදිළි කනගාටුව පළ කිරීමට සහ සමාව අයැදීමට නොපැකිලෙන බව කියා සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සමාව ඉල්ලා සිටිය යුතු අතර තමාත් එම නාවික හමුදා නිලධාරියා ඇතුළු සියලු පාර්ශ්ව කෙරෙහි කනගාටුව පළ කිරීමට සහ සමාව ඉල්ලීමට පසුබට නොවන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

උත්සවය සංවිධානය කෙරුණ පාසල පළාත් සභාවට අයත් වූ පාසලක් බව පෙන්වා දෙන නැගෙනහිර පළාතේ මහඇමති නසීර් අහමඩ් එම උත්සවය තුළ අනුගමනය කෙරුණ ක්‍රමවේදය (Protocol) දෝෂ සහිත බවත් පෙන්වා දෙයි.

තමා සහ පළාත් අධ්‍යාපන ඇමතිවරයා එම උත්සව භූමියට පැමිණ සිටියත් එහි නිවේදන කටයුතු වල නිරත වූ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයා සෙසු අමුත්තන්ගේ නම් නිවේදනය කළත් තමන් දෙදෙනාගේ නම් සඳහන් නොකළ බවයි මහ ඇමතිවරයා පවසන්නේ.

අනුගමනය කළ යුතුව තිබුණ නිල මට්ටමේ ක්‍රමවේදය පැහැර හරිනු ලැබීම සම්බන්ධයෙන් තමා නැගෙනහිර පළාතේ ආණ්ඩුකරුට දෝෂාරෝපණය කළ බවත් මහඇමති නසීර් අහමඩ් විසින් ආණ්ඩුවේ නායකයන්ට යවන ලද ලිපියේ දැක්වෙයි.

එහි අනුගමන කෙරුණ කාර්ය පටිපාටිය මගින් විදේශීය අමුත්තන් ඉදිරියේ තමාට අවමන් කරන ලදැයි හැඟීමක් ඇති වූ බවත් ඔහු කියා සිටී.

ඒ අතරම තමා සහභාගී වෙන උත්සව වර්ජනය කිරීමට ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් ගනු ලැබ ඇති තීරණය ආරක්ෂක අංශ විසින් ගනු ලැබ ඇති 'දේශපාලන තීන්දුවක්' හැටියටයි නැගෙනහිර පළාතේ මහඇමති නසීර් අහමඩ් විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර