රාජිත බලපෑම් කළේ නැහැ- සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Image caption සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න

වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික පත්කිරීම් ලැයිස්තු සකස් කිරීමේ දී සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න කිසිදු බලපෑමක් සිදු නොකළ බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පුරප්පාඩු පිරවීමේ දී 'සෞඛ්‍යය ඇමතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කළ බවට' චෝදනා කරමින් හෙට (31) පැය හතරක සංකේත වෛද්‍ය වැඩවර්ජනයක්‌ පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා කැඳවා තිබුණ මාධ්‍ය හමුවකදීයි සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ප්‍රකාශය කළේ.

වෛද්‍යවරුන් හිඟ කමින් මේ වන විට රෝහල් 39 ක් වැසී ඇති හෙයින් එකී රෝහල් යළි විවෘත කිරීමට හැකි අයුරින් වෛද්‍යවරුන් යොදා ලැයිස්තු සකස් කරන ලෙස පමණක් සෞඛ්‍යය අමාත්‍යවරයා උපදෙස් දුන් බවයි වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ.

එසේම එම ලැයිස්තු සකස් කිරීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කළ බවත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 'ඉල්ලීම් සියල්ලටම එකඟ විය නොහැකි වුවත් සාකච්ඡාවල දී ඔවුන්ගේ ඉල්ලීම් බහුතරයකට තමා එකඟ වූ' බවයි වෛද්‍ය පාලිත මහීපාල වැඩි දුරටත් සඳහන් කළේ.

වැඩවර්ජනයකට යමින් ජනතාව අපහසුතාවයකට ලක් කිරීමෙන් වැළකී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳා ගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පෙන්වා දෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මේ අතර චෝදනා මුඛයෙන් කියා සිටියේ සෞඛ්‍යය අමාත්‍යාංශය සාකච්ඡාවල දී දිගින් දිගටම තමන් මුලා කල බවයි.

කොළඹ,ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හැර අනිකුත් සියලු දිස්ත්‍රික්කවල හෙට උදෑසන පටන් දහවල් දොළහ තෙක් වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවත් වෛද්‍ය නවින් ද සොයිසා පවසයි.

බීබීසී යෙන්