විශ්වාසභංගයේ ඇතැම් කරුණු වලට එකඟ නැහැ- ජවිපෙ

රාජපක්ෂ ආණ්ඩුවත්, රනිල් මෛත්‍රී ආණ්ඩුවත් මේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි. Image copyright JVP MEDIA
Image caption 'රාජපක්ෂ ආණ්ඩුවත්, රනිල් මෛත්‍රී ආණ්ඩුවත් මේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි.'

මුදල් ඇමති රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවේ අඩංගු කරුණු සියල්ලටම එකඟ නොවුනත් මුදල් අමාත්‍යවරයාට පමණක් සීමා නොවී සමස්ත ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ විශ්වාස භංගය තුළින් කලින් බලයේ සිටි මහින්ද රාජපක්ෂ පාලනය 'ශුද්ධ කිරීමේ' වැඩ පිළිවෙලක් ද දක්නට ලැබෙන බවයි.

'08 වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව රාජපක්ෂ පාලනයේ කොටස්කරුවන් විසින් ගෙනෙන එකක්. එහි තිබෙන ඇතැම් කරුණුවලින් මහින්ද රාජපක්ෂ පාලනය සුද්ද කරන්න උත්සාහ කර තිබෙනවා' පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේය.

රුපියල් කෝටි 222,000 ව තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය රාජපක්ෂ පාලනය විසින් රුපියල් කෝටි 750,000 දක්වා වැඩි කළ බවට චෝදනා කරන මන්ත්‍රීවරයා එම ආර්ථික විනාශය නතර කිරීමට ප්‍රතිඥා දෙමින් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ බව පවසයි.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබියදී ප්‍රභූ ආරක්ෂක වහාන ගෙන්වීම, අමාත්‍යංශ ගොඩනැගිලි අලුත්වැඩියාව වැනි කරුණු සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කරන බවට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට චෝදනා කරයි.

විදේශ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් තවදුරටත් ණය ලබා ගනිමින් රට තවත් දැවැන්ත ණය උගුලක සිර කරන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ආණ්ඩුවට චෝදනා කරන්නේ.

'මේ ආර්ථික අර්බුදය, ණය උගුල රාජපක්ෂ පාලනයට පමණක් හිලව් කරන්න බැහැ. රාජපක්ෂ ආණ්ඩුවත්, රනිල් මෛත්‍රී ආණ්ඩුවත් මේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි. මේ ගෙන එන විශ්වාසභංග යෝජනාව මුදල් ඇමතිවරයාට පමණක් නොවෙයි, සමස්ත ආණ්ඩුවටම එරෙහි විශ්වාසභංගයක් පත් වෙනවා.'

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර