'මට පළවෙනියා වෙන්නත් පුළුවන් දෙවැනියා වෙන්නත් පුළුවන්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මට පළවෙනියා වෙන්නත් පුළුවන් දෙවැනියා වෙන්නත් පුළුවන්'

තමාට පළමුවැනියා හෝ දෙවැනියා වීමට හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

එහෙත් තමාට අවශ්‍ය වන්නේ පළමුවැනියා හෝ දෙවැනියා වීම නොව ඒකීය රටක් වශයෙන් ස්වෛරීභාවය සහ රණවිරුවන් ආරක්ෂා කර ගැනීම බව ඔහු කියා සිටියේ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ සංවිධානය කරන ලද රණවිරු උපහාර උත්සවයක් අමතමිනි.

රටේ ස්වෛරීභාවය සහ රණවිරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ඕනෑම පුද්ගලයකු සමග තමා එක් වන බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් සහ වගකීම් ලබා දිය යුතු බව තමා යෝජනා කරන බවයි කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මීට ඉහතදී සංදේශයට කියා සිටියේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සූදානම් බවත් අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න එහිදී පැවසීය.

රට තුළ වර්තමානයේ පොලිස් පාලනයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.