ආණ්ඩුව ඇමති වාහන සැලැස්ම හකුළා ගනී

Image caption නව සුඛෝපභෝගී වාහනයක්

යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට නව වාහන ගෙන්වීමේ සැලැස්ම නතර කරන මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.

සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් සිදු වූ මහා විනාශයේ දී හානියට පත් නිවාස සඳහා වන්දි මුදල් ගෙවන තෙක් ඇමතිවරුන් සඳහා අලුතින් වාහන ගෙන්වීමට මුදල් වෙන් නොකරන මෙන් අගමැතිවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇමතිවරුන්ට නව වාහන සඳහා රුපියල් කෝටි 118කට අධික මුදල් සම්භාරයක් වෙන් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර එය රට පුරාම සංවාදයට ලක් වූ මාතෘකාවක්වයි තිබුණේ.

පසුගිය බදාදා පැවැත්වුන කැබිනට් මාධ්‍ය හමුවේ දී බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ රුපියල් කෝටි ගණනක් වැය කොට ඇමතිවරුන් සඳහා අලුතින් මෝටර් රථ මිල දී ගනු ලබන්නේ 'ජනතාවට සේවය කිරීමට' බවයි.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දැක්වූ සෞඛ්‍යය ඇමති සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න 'වසර විස්සකින් පමණ අමාත්‍යංශවලට නිසි ලෙස වාහන මිල දී ගෙන නොමැති' බවයි සඳහන් කළේ.

Image caption නව වාහනයක පහසුව

මෝටර් රථ මිළ දී ගැනීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයිදැයි බීබීසී කොළඹ වාර්තාකරු ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමතිවරයා දේශපාලනඥයන්ට 'ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් රථ අවශ්‍ය බව' අවධාරණය කළේය.

ඉන්දියාවේ ඇමතිවරුන් දේශීය නිෂ්පාදිත සාමාන්‍ය මෝටර් රථ පාවිච්චි කරද්දී ශ්‍රී ලංකාවේ ඇමතිවරුන්ටත් එසේ බැරිදැයි මාධ්‍යවේදියකු විමසූ විට රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේ 'ඉන්දියාවේ ඇමතිවරුන්ද දැන් වාහන පාවිච්චිය අතින් වෙනස් වී' ඇති බවයි.

අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව මගින් රුපියල් කෝටි 118 කට අධික මුදලක් ඉල්ලා තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර