නිවසේදී පමණක් අකුරු කළ ලාංකීය සිත්තරිය

චිත්‍ර ශිල්පිණි යශෝධරා පතන්ජලී Image copyright Yasodhara Arawwawela
Image caption චිත්‍ර ශිල්පිණි යශෝධරා පථන්ජලී

යශෝධරා පථන්ජලී බ්‍රිතාන්‍යයේ උපත ලබා හැදී වැඩුණු ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පිණියක්.

සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම මැනවින් හසුරුවන උපාධිධාරිනියකද වන ඇය උසස් පෙළ හදාරන තුරුම පාසල් ගොස් නැහැ.

කිසි දින පාසල් නොගොස්, භාෂා දෙකක් එතරම් හොඳින් හැසිරවීමට පමණක් නොව විශ්ව විද්‍යාල වරම් ලැබීමට පවා ඇය සමත්වූයේ කෙසේද?

ඒ ඇයට නිවසේදීම අධ්‍යාපනය ලබාදීමට මව තීරණය කිරීම නිසා.

"ඉස්කෝලේ ගිහිල්ල දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන්. නමුත් දෙමාපියන්ට වුවමනාව තියෙනව නම්, හැකියාව තියෙනව නම් ඊට වඩා යමක් කරන්න, එතකොට පුළුවන් හොඳම පාසලට වඩා දෙයක් ළමයට ලබා දෙන්න."

ඇය නිවසේ රඳවාගෙන පාඩම් කියාදීමට සිය මවට හැකියාව තිබුණත්, දෙමාපියන් දෙදෙනාම රැකියාවක නිරතවන්නේ නම් නිවසේදීම අධ්‍යාපනය ඉතා අසීරු කරුණක් බව සිත්තරිය බැහැර කරන්නේ නැහැ.

Image copyright Yasodhara Arawwawela
Image caption යශෝධරා පථන්ජලී සිය මව සමග

"දෙමවුපියෝ දෙන්නට ජීවත්වෙන්න ආදායමක් හොයාගන්න වෙනවා. ඒ කියන්නේ ගෙදර නැහැ ළමය එක්ක දවස ගතකරන්න. ඉතින් ඒ කැපවීම කරගන්න බැරි නම් දරුවා පාසලකට යවන එක තමයි හොඳම දේ," යශෝධරා පථන්ජලී සඳහන් කළේ මා සමඟ සිය අත්දැකීම බෙදා ගනිමින්.

හැකියාවක් තිබෙන්නේ නම් දරුවන් පාසල් නොයවා ඔවුන්ට නිවසේදීම අධ්‍යාපනය ලබාදීම වඩා යහපත් බව යශෝධරා පථන්ජලී ගේ අදහසයි. එබැවින් තමා පාසලක් නොයැවීමට සිය අම්මා එදා ගත් තීරණය ඉහලින්ම අගය කරන බවත් ඇය පවසන්නීය.

ලන්ඩනයේ භාරතීය විද්‍යා භවන් සංගීත ආශ්‍රමයේ සංගීතය හැදෑරීම සහ ඉතා බාල වියේදී ශ්‍රී ලංකාවේ ගත කළ සමයේ නිවසට පැමිණි ගුරුවරුන් කිහිප දෙනකු හැරෙන්නට උසස් පෙළ හදාරන තුරුම ඇයටත්, ඇයගේ සොහොයුරාටත් නිවසේදීම අධ්‍යාපනය ලබා දී තිබෙන්නේ මව විසින්ම පමණයි.

එහෙත් යශෝධරාගේ මව ගුරුවරියකුත් නොවේ.

අම්මාගෙන් ලැබූ ගුරුහරුකම ඇගේ සිතට කෙතරම් කාවැදී තිබෙන්නේද යත් සිය දියණියත් දෙදෙනාත් කිසි දිනෙක පාසල් නොයැවීමට යශෝධරාත් තීරණය කරලා.

"ගෙදර උගන්නන ක්‍රමයයි, පාසල් ක්‍රමයයි වෙනස්. ඒ දෙක එක විදියට නෙවෙයි යන්නේ," ඇය විස්තර කළේ මා මතු කළ ප්‍රශ්න මාලාවකට පිළිතුරු දෙමින්.

"ගෙදර ඉගෙනගන්න කොට ඕන ක්‍රමයකට උගන්නන පුළුවන්. අපිට අයිතිය තියෙනව ඕන ක්‍රමයකට උගන්නන්න. සාමාන්‍ය පෙළ දක්වා මම ඉගෙනගත්තේ ලංකාවේ විෂය මාලාවේ විදියට."

පාසලේදී ලැබෙන අධ්‍යාපනය පිළිබඳව වැඩි දැනුමක් නොමැති වුවත්, අම්මා නිවසේදී තමන්ට ලබා දුන් අධ්‍යාපනය ගැන 'සම්පූර්ණයෙන්ම තෘප්තිමත්' බවයි යශෝධරා පථන්ජලී මා සමඟ වැඩිදුරටත් කියා සිටියේ.

"දැන් අවුරුද්දකට ටිකක් වැඩියි මගේ ලොකු දුව පාඩම් කරන්න පටන් අරන්. එයා බොහොම සතුටෙන් එයාගේ වැඩ කරගෙන යනවා."

(බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික සිත්තරිය සමඟ සංවාදය සහ සටහන සරෝජ් පතිරණ. සාකච්ඡාවට සවන්දෙන්න)

සබැඳි විෂයයන්