ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් කිසිම බලපෑමක් නෑ - ජනපති

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියේ සාධනීය ලක්ෂණ දකින අතරම ආණ්ඩුවේ ඇතැම් බල කේන්ද්‍රයන් ඉන් බැහැරව කටයුතු කරන ස්වභාවයක් දක්නට ඇති බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

"ජනාධිපතිතුමනි, ඔබතුමා බීබීසී සංදේශයට කියපු නිවැරදි ස්ථාවරය ක්‍රියාත්මක වන බවක් අද පෙනෙන්නට නැති බව කණගාටුවෙන් කිව යුතුයි. මේ දවස්වල අපට ඇසෙනවා දේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම ගැන. ඔබතුමා කියපු ආකාරයට අධිකරණය ස්වාධීන නම් ඇයි නව යාන්ත්‍රණයක්?," ඔහු ප්‍රශ්න කළේය.

මැද මාවතක් අනුගමනය කරන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේනට 'දකුණු - දකුණු සහ උතුරු දකුණු' සංහිඳියාව එක විට ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු ඒ බව කියා සිටියේ 'ගෝලීය කටයුතු තුළ ශ්‍රී ලංකාව - 2015 ජනවාරියේ සිට ගමන් මඟ' මැයෙන් ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සඳුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විද්වත් කතිකාවකදී.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ වත්මන් රජයේ ජාත්‍යන්තර සබඳතා වරදවා විග්‍රහ කරමින් ලෝක බලවතුන්ට රට ආක්‍රමණය කිරීමට රජය ඉඩ දෙන බවට දේශපාලන ප්‍රතිවාදීන් කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

"කිසිම රහසක් නෑ. කිසිම සැඟවිය යුතු දෙයක් නෑ. සියලු අභියෝග මධ්‍යයේ හොඳ රටක් හදන්නයි අපේ උත්සාහය," ජනාධිපතිවරයා පැවසීය.

"නැවත බලයට ඒම සඳහා බලය තහවුරු කරගැනීමේ මානසිකත්වයෙන් තොරවයි මම වැඩ කරන්නේ."

සංහිඳියාව සහ යහපාලනයේ වටිනාකම් ඇතැමුන් විසින් තේරුම් නොගැනීම හේතුවෙන් ගැටලු මතුව තිබෙන බව කියා සිටි ජනාධිපතිවරයා රටේ අනාගතය රඳා පවතින්නේ සංහිඳියාවේ සහ යහපාලනයේ වටිනාකම් යථාර්ථයක් බවට පත් කිරීමෙන් පමණක් බව අවබෝධ කර ගත යුතු බවත් සඳහන් කළේය.