මුස්ලිම් පල්ලියකට ප්‍රහාරය ගැන අමුතු දඬුවමක්

Image caption ජාතීන් අතර සංහිඳියාවක් ගොඩනැගීමට ඉවහල් වන පරිදි නඩුව අවසන් කරන්නේ නම් එයට එකඟ බව පැමිණිලිකාර පාර්ශවය පැවසීය

විහාරස්ථානයක් මාර්ගයෙන් ගංවතුර ආධාර වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ගෙවන මෙන් කොළඹ මුස්ලිම් පල්ලියකට ගල් ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් පස් දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පසුගිය වසරේ මැයි මස බොරැල්ලේ මුස්ලිම් පල්ලියකට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පොලිසිය විසින් චෝදනා ගොනු කරනු ලැබ තිබුණි.

බදාදා නඩුව කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ විත්ති පාර්ශ්වයේ නීතිවේදියා, ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ගැනීමට සිය සේවාදායකයන් සූදානම් බව අධිකරණයට දැනුම් දුන්නේය.

ජාතීන් අතර සංහිඳියාවක් ගොඩනැගීමට ඉවහල් වන පරිදි මෙම නඩුව අවසන් කරන්නේ නම් තමන් එයට එකඟ බවයි, මුස්ලිම් දේවස්ථාන පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මෛත්‍රී ගුණරත්න ඒ අවස්ථාවේ අධිකරණයට දැනුම් දුන්නේ.

"මෙම සැකකරුවන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් පැමිණිලිකරුවන්ට නැහැ. ඔවුන් ප්‍රදේශයේ පිහිටි විමලාරාමය විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ හරහා ගංවතුර ආධාර වශයෙන් බෙදා දීමට රුපියල් පනස් දහසක් එම විහාරස්තානයට ලබා දෙන්නේ නම් මෙම නඩුව සමතයකට පත්කර ගැනීමට සුදානම්," නීතිවේදී මෛත්‍රී ගුණරත්න පැවසීය.

විත්ති පාර්ශවයද එම අදහසට එකඟතාව පළ කළ බැවින් නඩුව සමතයකට පත්කිරීමට අධිකරණය තීන්දු කළේය.