මහ බැංකු අධිපතිගේ සේවය 'දීර්ඝ නොකිරීමට අගමැති එකඟ වුනා'

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් Image copyright Getty Images
Image caption මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ චෝදනා මත පදනම් වී මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් නොගන්නේ නම් එය යහපාලනය විය නොහැකි බව ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරන ලෙස පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සිවිල් ක්‍රියාධරයන් සෙනසුරාදා රාත්‍රියේ අගමැතිවරයා හමු වී ඉල්ලා සිටි බවයි මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේ.

ඒ අනුව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධ පරීක්ෂණ නිමා වන තුරු තවදුරටත් ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට අගමැතිවරයා එකඟ වූ බව පුරවැසි බලය සංවිධානයේ ප්‍රකාශකයකු වන මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ සඳහන් කළේය.

'යම් හෙයකින් මහේන්ද්‍රන් මහත්මයා චෝදනාවලින් නිදහස් වුවහොත් නැවත ඔහු එම ධුරයට පත් කළ හැකියි. ඔහු වරදකරු වුවොත් අලුත් අයෙක් ඒ සඳහා පත් කළ යුතුයි'

'බරපතළකම'

කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ ගැටලුවේ ඇති බරපතළ භාවය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තේරුම් ගෙන ඇති බවත් ඔහු පැවසීය.

'ඒ හරහා යහපාලන ආණ්ඩුවට ඇති විය හැකි හානිය ඉතා විශාලයි කියන දේ ඔවුන් දෙපලම තේරුම් ගෙන තිබෙනවා.'

මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මීට පෙර සිදු කරන ලද පරීක්ෂණ ඉහත කී බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නොවන ඒවා බවත් මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිටියේය.

'ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුව මේ කාරණය සැලකිල්ලට ගෙන ලබා දුන් තීන්දුවක් නොවෙයි'

'ඉතිහාසයෙන් උදාහරණ'

චෝදනා එල්ල වූ මහ බැංකු අධිපතිවරුන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ සහ අස් කරනු ලැබූ අවස්ථා පිළිබඳ කලාපීය රටවල පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසයෙන් ද පූර්වාදර්ශ ලබා දිය හැකි බවත් මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ පැවසීය.

1954 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආණ්ඩු සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටි එන්යු ජයවර්ධන පෞද්ගලික බැංකුවක අධ්‍යක්ෂවරයකුට දුරකථන ඇමතුමක් ලබා දී සිය බිරිඳට ණයක් ලබා දෙන ලෙස දන්වා සිටීම හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කළ බවයි මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ සඳහන් කළේ.

'ඒ දුරකථන ඇමතුම ලබා දීමෙන් පවා මහ බැංකු අධිපතිවරයා කරලා තිබෙන්නේ වැරැද්දක් කියන එක එදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවෙන් තීන්දු කළා.' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර