දයාසිරි ජයසේකර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රිතාන්‍ය ජනමත විචාරණය: ශ්‍රී ලංකා ඇමතිවරුත් ප්‍රචාරක ව්‍යාපාරයේ

යුරෝපා සංගමයේ රැඳී සිටීම වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන මෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඉල්ලීමක් අනුව බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

"ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව විදේශ අමාත්‍යාංශය සම්බන්ධීකරණය කරපු වැඩසටහනට තමයි අපි සම්බන්ධ වුනේ," ඔහු පැවසීය.

"අතිගරු ජනාධිපතිතුමා ඩේවිඩ් කැමරන් අගමැතිතුමා හමුවුන වෙලාවෙත්, අගමැතිතුමා හමුවුන වෙලාවෙත් එතුමා විශේෂයෙන් ඒ ගැන සඳහන් කරලා තිබුණා," අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

'ආසියානුවන් ලක්ෂ තිහක්'

ජනමත විචාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලක්ෂ තිහකට ආසන්න ආසියානුවන්ට කරුණු පැහැදිලි කර දෙන මෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ආසියානු රටවල ආණ්ඩුවලින් ඉල්ලීමක් කර තිබෙන බව පවසන අමාත්‍යවරයා, එම ඉල්ලීම ප්‍රකාර ඉන්දීය ආණ්ඩුවේ දූත පිරිසක්ද බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සුසිල් ප්‍රේම්ජයන්ත්, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා මැති ඇමතිවරු සහ රෝසි සේනානායක හිටපු රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටිති.

කිසියම් ලෙසකින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් ශ්‍රී ලංකාවට බරපතල ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේ.

බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව අතරින් බහුතරයක් සහ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් බ්‍රිතාන්‍යය දිගටම යුරෝපා සංගමයේ සාමාජිකත්වය දැරිය යුතුය යන ස්ථාවරයේ සිටින හැඩක් දක්නට ලැබෙන බවත් ඔහු පැවසීය.

'ඇඟිලි ගැසීමක්'

කෙසේ නමුත් බ්‍රිතාන්‍යයේ වෙසෙන සිංහල ප්‍රජාව එහිදී එයට වඩා තරමක් බෙදී සිටින හැඩක් පෙනී යන බව අමාත්‍ය දයාසිරි ජයසේකරගේ විග්‍රහයයි.

යුරෝපා ජාතිකයන්ගේ සංක්‍රමණය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා අහිමි වනු ඇතැයි ඇතැමුන් මතුකරන තර්කය තමන් පිළිනොගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ආණ්ඩුවේ ඉල්ලීමක් ප්‍රකාර හෝ මෙසේ වෙනත් රටක ජනමත විචාරන ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධවීම එම රටේ අභ්‍යන්තර කටයුත්තකට ඇඟිලි ගැසීමක් නොවේ දැයි විමසූ විට අමාත්‍ය ජයසේකර සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන්ට යතාර්ථය පහදා දීම ආණ්ඩුවේ වගකීම බවයි.

"ඒ නිසා රටක් විදියට අපි ගත්ත පියවර හරියි කියල මම විශ්වාස කරනවා."

ජනමත විචාරණයේදී යුරෝපයේ රැඳී සිටීම සඳහා සිය ඡන්දය භාවිත කරන මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මේ අතර බ්‍රිතාන්‍යවාසීන් ගෙන් ඉල්ලීමක් කර තිබුණි.