බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳීමෙන් 'ලංකා ආර්ථිකයට වාසි'

Image copyright AFP
Image caption සරණාගත ප්‍රශ්නයෙන් යුරෝපා සංගමයට සිදු කරන බලපෑම පිළිබඳව 'ඇතැමුන් අතිශයෝක්තියෙන් හුවා දක්වමින් සිටිනවා'

බ්‍රිතාන්‍යය දිගටම යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය යන්න සිය විශ්වාසය බව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ලන්ඩන් ශාඛාව පවසයි.

ලොව මුහුණ දී සිටින සරණාගත ප්‍රශ්නයෙන් යුරෝපා සංගමයට සිදු කරන බලපෑම පිළිබඳව ඇතැමුන් අතිශයෝක්තියෙන් හුවා දක්වමින් සිටින බවයි, එජාප ලන්ඩන් ශාඛාවේ සභාපති නීතිවේදී හර්ෂක කන්නන්ගර බීබීසී සංදේශයට කියා සිටියේ.

GSP + තීරුබදු සහනය ලබා ගැනීම සඳහා නැවතත් ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය වෙත අයදුම්පතක් භාර දී ඇති අතර, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන විශාල ප්‍රමාණයක ගැනුම් කරු බ්‍රිතාන්‍යය බවද නීතිවේදී හර්ෂක කන්නන්ගර පෙන්වා දෙයි.

ඩයස්පෝරා සංවිධාන

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන දිරිමත් කිරීමට සහ වර්ධනය කර ගැනීම් වස් බ්‍රිතාන්‍යයේ සහාය ඉතා වැදගත් සාධකයක් බැවින් බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැදී සිටීම ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට වාසි සහගත වන බවත් එජාප ලන්ඩන් ශාඛාව වැඩිදුරටත් පවසයි.

බ්‍රිතාන්‍ය ජනමත විචාරණයෙන් ආසියාතික වෙළඳපොළට ඇති වන බලපෑම සහ යුරෝපා සංගමය තුළ රැඳී සිටීමෙන් ශ්‍රී ලංකාවට අත් වන වාසි පෙන්වා දෙමින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය තුළ රැඳී සිටීම වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන මෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

කෙසේ නමුත් බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ සිංහල සහ දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක ප්‍රකාශකයන්ගේ අදහස වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ශ්‍රී ලාංකිකයන්ටද වාසිදායක බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර