ලිංගික හිංසනය: කාන්තාවන්ට විශේෂ බස් රථ සේවාවක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලිංගික හිංසනය: කාන්තාවන්ට විශේෂ බස් රථ සේවාවක්

ඉන්දියාවේ පාලන බලය යටතේ පවතින කාශ්මීර කලාපයේ කාන්තාවන්ට පමණක් වෙන් වූ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම බස් රථ සේවාව ආරම්භ වෙන්නේ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පළමු කාන්තා මහා ඇමතිවරිය වන මෙහෙබුබා මුෆ්තීගේ පත් වීමත් සමගයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ දහ නම වෙනි දින ආරම්භ කෙරුණ කාන්තාවන්ට විශේෂ ගමනාගමන සේවාව වෙනුවෙන් බස් රථ පහක් යොදවා තිබෙන අතර මේ වන විට සේවය දිනකට දෙවරක් ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී නගර් වෙතින් ගමන් අරඹන කාන්තා බස් රථ සේවාව කාශ්මීර විශ්වවිද්‍යාලය තෙක් ගමන් කරන්නේ සෑම නැවතුමකම සිටින කාන්තාවන්ට ආරක්ෂාකාරී හිංසනයෙන් තොර ගමනාගමන පහසුකම් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

'බිහිසුණු අත්දැකීමක්'

උමාරියා හසාන් කාශ්මීර විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හදාරන සිසුවියක්, ඇය කියා සිටියේ සාමාන්‍ය පොදු බස් රථයක ගමන් කිරීම තරුණියක් යුද ගැටුම් වලට මුහුණ දෙනවාට සමාන බිහිසුණු අත්දැකීමක් වී ඇති බවයි.

Image copyright Abid Bhat

පළමුවෙන්ම ඉතා තද බදයෙන් යුතු බස් රථයට ඇතුළු වීමට තල්ලු වන සෙනග අතර නොවැටී සිටීමට පොරබැදිය යුතු බව පවසන ඇය කියා සිටියේ ඉන්පසු ලිංගික හිංසනයට ලක් නොවී සිටීමට සටන් කළ යුතු බවයි.

'එක මිනිහෙක් මගේ කකුල අල්ලනවා කියල මට දැනුනා, මම ඉස්සෙල්ලා හිතුවා බස් එකේ ගොඩාක් සෙනග ඉන්න හින්ද මේ මනුස්සයා මගේ ඇගේ වදිනවා කියලා. ඒත් පස්සේ මට දැනුනා ඔහු උවමනාවෙන්මයි මේක කරන්නේ කියලා. මම ලොකු අපහසුතාවයකට පත් වුනා, ඔහුගෙන් ඇහුවාම ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා, ඒක නවත්තන්නේ නැතුව තවත් මගේ දිහාට බර වෙන්න පටන් ගත්තා. මට සිද්ද වුනා සෙනග පෙරළගෙන ඔහුව වැටෙන තරම් හයියෙන් තල්ලු කරන්න. මට වෙන ගැලවුමක් තිබුනේ නැහැ.' උමාරියා සිය අත්දැකීම් විස්තර කළාය.

'පිරිමින් වරදට පොළඹවා ගැනීම කාන්තාවගේ වරදක්'

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ සිය යෙහෙළියන් දිනපතා තමන් පොදු බස් රථ වල ගමන් කිරීමේ දී මුහුණ දෙන ලිංගික හිංසන පිළිබඳ කතා කරන බවයි.

කාශ්මීර කාන්තාවක් සිය අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ බොහෝ අවස්ථා වල බස් රථයක් තුළදී ලිංගික අඩන්තේට්ටම් වලට ලක් වන කාන්තාවක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පිරිමින් වරදට පොළඹවා ගැනීම කාන්තාවගේ වරදක් යයි පවසන මිනිසුන් ඇය වෙත දෝෂාරෝපණ එල්ල කිරීමේ ප්‍රවනතාවක් පවතින බවයි කියා සිටියේ.

මේ අත්දැකීම ඉන්දීය කාන්තාවන් පමණක් මුහුණ දෙන තත්වයක් නොවන බවට ලෝකයේ බොහෝ රටවල් සාක්ෂි සපයයි. බොහෝ විට පුරුෂාධිපත්‍ය ඉතා බලවත් ලෙස ක්‍රියාත්මක වන සෑම විටම පමණට වඩා මගීන් පුරවාගෙන ගමන් කරන පොදු බස් රථ සේවා ක්‍රියාත්මක වන ආසියාතික රටවල කාන්තාවන් මුහුණ දෙන්නේ ඉතාමත් අසභ්‍ය ලිංගික අඩන්තේට්ටම් වලටයි.

Image copyright Abid Bhat

ලංකාවේ පොදු ගමනාගමන සේවයේ බස් රථ වල ගමන් කරන කාන්තාවගේ තත්වය ඉන්දියාවේ පවතින තත්වයට දෙවෙනි නොවන බවයි සංදේශයේ පවිත්‍රා පෙරේරා සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රියාධාරිණි සීතා රංජනී කියා සිටියේ.

'ලිංගික අඩන්තේට්ටම් සුළු කොට නොසලකන සමාජයක්'

කාන්තාවන්ට පමණක් වෙන් වූ බස් රථ සේවාවක් ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනය තුළ ලිංගික අඩන්තේට්ටම් වලින් පීඩා විදින කාන්තාවට විශාල සහනයක් සපයනු ඇති බවට සැකයක් නැති නමුත් මේ ප්‍රශ්නය විසඳීමට නම් පොදු ගනමාගනයන තුළ කාන්තාවට සිදුවන ලිංගික අඩන්තේට්ටම්, අතවර සුළු කොට නොසලකන සමාජයක් බිහි කළ යුතුව ඇති බවයි සාකච්ඡාවට එක් වූ ශ්‍රී ලංකාවේ 'කාන්තාව සහ මාධ්‍ය' සාමුහිකයේ ක්‍රියාධාරිණි කුමුදිනි සැමුවෙල් පවසන්නේ.

ශ්‍රී නගර් වලින් ගමන් ඇරඹු කාන්තාවන්ට පමණක් වෙන් වූ බස් රථය මිනිත්තු විස්සක කාලයක් ගත වීමෙන් පසු කාන්තා මගීන් පනහකට අධික ප්‍රමාණයකින් පිරී ඉතිරෙනු දැක ගත හැකි වූ බවයි බීබීසි වාර්තාකාරිණි ගීතා පාන්ඩේ පවසන්නේ.

කාශ්මීරයේ කාන්තාවන් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියාවේ සියලුම නගර වල මෙම විශේෂ කාන්තා බස් රථ සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි.

ඉන්දීය ගමනාගමන දෙපාර්තමේන්තුවේ නිලධාරී අහමඩ් චන්දා බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාව පුරා විසිර සිටින සිසුවියන් සහ රැකියා වල නියුතු කාන්තාවන්ගෙන් මෙම බස් රථ සේවාව රට පුරා ව්‍යාප්ත කරන මෙන් ඉල්ලා විද්‍යුත් පණිවුඩ ලැබෙන බවයි.

කාන්තාවන්ට වෙන් වූ බස් රථයක ගමන් කරන අතර තුර බීබීසි වාර්තාකාරිණිය සමග සිය අදහස් බෙදා හදාගත් විශ්වවිද්‍යාල සිසුවිය හසාන් පැවසුවේ රජය මෙම බස් සේවාව රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළොත් මුළුතැන්ගෙට සිරවී සිටින ඉන්දීය කාන්තාවන්ට ඉන් පිටතට පැමිණ ලෝකය ඉදිරියට ගමන් කිරීමට විශාල ආත්ම විශ්වාසයක් සහ දිරියක් සැපයෙනු ඇති බවයි.

බීබීසි වාර්තාකාරිණි ගීතා පාන්ඩේ ඉදිරිපත් කළ වාර්තාවක් ඇසුරෙන් සංදේශයේ පවිත්‍රා පෙරේරා එක්තැන් කළ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොදු බස්රථයක ගමන් කිරීමේදී පත්වන අවාසනාවන්ත තත්වය සහ ඊට විසඳුම් සාකච්ඡා කෙරෙණ විමසුමට සවන් දෙන්න.