ඔලුවිල් ඉඩම් ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට

Image caption ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කලේ යුද හමුදාවේ ක්‍රියාකලාපය තුලින් මානව හිමිකම් කඩවීමක් සිදුවී තිබේදැයි සොයා බැලීමට විභාගයක් පැවැත්වීම අවශ්‍ය බවයි.

යුද හමුදා කඳවුරක් ඉදි කිරිම හේතුවෙන් බලහත්කාරයෙන් ඉවත් කළ තමන්ට රජය විසින් තවමත් ඉඩම් ලබානුදුන් බව චෝදනා කරමින් ඔලුවිල්, කෙසන්කර්නි ගම්මානයේ මුස්ලිම් ජාතික පවුල් කිහිපයක් ඉදිරිපත් කල මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

පෙත්සම්කරුවන් පවසන්නේ 2011 වසරේ දෙසැම්බර් මස තම ගම්මානයට කඩා වැදුණු යුද හමුදාව එම ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ඉදිකිරීමට නියමිත බැවින් ප්‍රදේශයෙන් ඉවත් වන මෙන් බල කළ බවයි.

ඒ අනුව එම ප්‍රදේශයෙන් ඉවත්වූ තමන් එම නියෝගයට එරෙහිව 2012 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

පවරාගත් ඉඩම් වෙනුවට පෙත්සම්කරුවනට විකල්ප ඉඩම් ලබාදෙන බවට නීතිපතිවරයා 2013 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නද එම ඉඩම් මෙතෙක් ලබා නුදුන් බවයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් වාසස්ථාන අහිමිව තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද ඔවුහු ප්‍රකාශ කළහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ යුද හමුදාවේ ක්‍රියාකලාපය තුලින් මානව හිමිකම් කඩවීමක් සිදුවී තිබේදැයි සොයා බැලීමට විභාගයක් පැවැත්වීම අවශ්‍ය බවයි.

ඒ අනුව පෙත්සම සැප්තැම්බර් මස 13 විභාගයට ගැනීමට තීන්දු කළ අධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් වග උත්තරකාර අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළේය.

බීබීසී යෙන්