තොරතුරු දැන ගැනීමේ සංකල්පය 'අශෝක අධිරාජයාගෙන්'

  • 2016 ජුනි 26
'නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.'
Image caption 'නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.'

තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ නමුත් එය ජනගත කරන්නේ කෙසේදැයි යන අභියෝගය රට හමුවේ පවතින බව ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද තොරතුරු දැන ගැනීමේ පනත සහ එහි වැදගත්කම පිළිබඳ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය දැනුවත් දැයි බීබීසී සංදේශය කළ විමසීමකදී.

''ඇත්තටම එහෙම දැනුවත් භාවයක් නැහැ. අපි එය පිළිගත යුතුව තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගත යුතුව තිබෙනවා.''

අදාළ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හඬ නැගුවේ මධ්‍යම පාන්තික සමාජ සහ දේශපාලන ක්‍රියාධරයන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් අසල්වැසි ඉන්දියාවේ පැවතුනේ එයට වඩා වෙනස් තත්වයක් බව විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

ඇයි අපට වැදගත්?

Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාදයට ගත් තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව ජුනි 24 වනදා ඒකමතිකව සම්මත විය

''අනූව දශකයේ, ඉන්දියාව තුළ මේ තොරතුරු දැන ගැනීමේ පනත අවශ්‍යයි කියන ඉල්ලීම ආවේ බිම් මට්ටමින්. ප්‍රාන්ත මට්ටමින් නීති ගත වී 2005 වසරේ ඉන්දියාව ජාතික මට්ටමින් තොරතුරු නීතිය සම්මත කර ගත්තා. මේක ඇයි අපට වැදගත්? මොනවද මෙයින් ගත හැකි ප්‍රයෝජන කියන කාරණා, නීතිය සම්මත වෙන කොටත් මිනිස්සු දැන සිටියා''

තොරතුරු දැන ගැනීමේ පනතේ ඇති වැදගත්කම ජන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ක්‍රියාධරයන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බවයි තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙන්නේ.

''මේක වෙනත් නීති වගේ නොවෙයි.මෙය ජනතාව වෙනුවෙන් සම්මත වූ නීතියක්. සාමාන්‍යයෙන් පනවන ලද නීති ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව. නමුත් තොරතුරු නීතිය භාවිත කරන්න ඕනි පුරවැසියෝ.''

තොරතුරු පනත හරහා පුරවැසියන්ට රාජ්‍ය ආයතන, පොදු අධිකාරියක තොරතුරු ඉල්ලා සිටීමට සහ ලබා ගැනීමට නෛතික අයිතියක් හිමි වේ.

''නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.''

අශෝක කුලුණු

Image copyright Nalaka Gunawardene
Image caption විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන

ඇතැම් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි අදාළ පනතේ දක්වා ඇති ව්‍යතිරේක හැරුණු කොට අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීමට ජනතාවට අයිතිය හිමි වන බවයි ඔහු පවසන්නේ.

ව්‍යතිරේකවලින් බැහැර වන තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු අයිතිය පිළිබඳ ස්වාධීන කොමිසමට පැමිණිලි කළ හැකි බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේය.

සංකල්පයක් වශයෙන් තොරතුරු දැන ගැනීමේ නීතිය දකුණු ආසියාවට අලුත් දෙයක් නොවන බව ඔහු පෙන්වා දෙන්නේ අශෝක අධිරාජයා සමයේ ස්ථාපනය කරන ලද අශෝක කුලුණු උදාහරණයට ගනිමිනි.

''මේ කුලුණුවල, රජතුමා කරන්නේ කුමක්ද? රාජ්‍ය පාලකයාගේ ප්‍රතිපත්ති මොනාද? ස්ථාපිත කොට තිබුණා. එක් එක් ස්ථම්භය පිහිටුවන ස්ථානයේ එම ප්‍රදේශයේ භාෂාවෙන් පුවරුවල සටහන් යෙදුවා. සියලු දෙනාටම සාක්ෂරතාවය නැති නිසා විටින් විට පුවරුවල ඇති සටහන් හඬ නගා කියවන්න රාජ්‍ය නිලධාරීන්ට නියෝග කළා.''

තොරතුරු දැන ගැනීමේ වැදගත්කම හඳුනා ගනිමින් එවැනි පනතක් මුලින්ම නීති ගත කරන ලද්දේ ස්වීඩනය බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

''බටහිරින් ලැබුණු ආභාෂයක් වශයෙන් මේ වතාවේ තොරතුරු දැන ගැනීමේ පනත අපට ලැබුනත් අපේ සංස්කෘතික උරුමයක් තිබෙනවා රජය, මහජනතාව වෙත තොරතුරු සරල බසින් ලබා දෙන බවට''

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර