මීළඟ අගමැතිට දෙපැත්ත දැවෙන විලක්කුවක්!

Image caption යුරෝපා හවුලෙන් දික්කසාද වීමට බ්‍රිතාන්‍යය ගත් තීරණය නිසා මහා බ්‍රිතාන්‍යයේ පක්ෂ දේශපාලනයත් කැලඹෙන්නට පටන් ගෙන තිබේ

මහා බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා කවුරුන් වුවත් ඔහුට භාර ගැනීමට සිදු වන්නේ දෙපැත්ත දැවෙන විලක්කුවකි.

එක් පැත්තකින් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම නිවේදනය වීමත් තවත් පැත්තකින් විපක්ෂ නායකයාට එරෙහිව දැල්වෙන රතු එළියත් අර්බුදකාරී වන්නේ ස්කොට්ලන්තයේ අභියෝග ඉදිරියේ යි.

මේ සියල්ලටම වඩා මහා බ්‍රිතාන්‍යය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ආර්ථිකය යි. දැනටමත් බ්‍රිතාන්‍ය පවුමේ අගය කඩා වැටී ඇත.

ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන් මහ ආණ්ඩුවට අලුත් අභියෝගයක් එල්ල වී තිබේ. ස්කොට්ලන්ත වාසීන්ගෙන් බහුතරය සිය ඡන්දය භාවිත කර ඇත්තේ තවදුරටත් යුරෝපා හවුලේ රැඳී සිටීමටයි. මහ ඇමතිනිය බ්‍රසල්ස් බලධාරීන් සමඟ සාකච්ඡා අරඹන බව නිවේදනය කළේ මහ ආණ්ඩුවට නීතිමය අභියෝගයක් ඉදිරිපත් කරමිනි.

*මහා බ්‍රිතාන්‍යයේ දික්කසාදය -හඬ පටය මෙතැනින්

Image caption තවත් ගඩොල් ගැලවේද?

යුරෝපා රටවල් බොහොමයක් බ්‍රිතාන්‍ය ජනතාවගේ තීරණය ගැන මැසිවිලි නගද්දී හංගේරියානු අගමැතිවරයා එය හැඳින්වූයේ වෙනස් ස්වරුපයකිනි.

'තරවටු' කරන්නන්ගෙන් මිදී තමන්ගේ ඉරණම තමන් ම විසඳා ගැනීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇති බවයි හංගේරියානු අගමැතිවරයා පවසන්නේ.

එම වදන්, බ්‍රිතාන්‍යයේ ස්වාධීන පක්‍ෂයේ නායකයා ගේ ප්‍රකාශය නැවත මට සිහිපත් කරවයි. යුරෝපා හවුලේ 'පළමු ගඩොල' ගලවා දැමූ බවයි නයිජල් ෆරාජ් පසුගිය දා කියා සිටියේ. ඔහු නොකියා කියන්නේ ඉදිරියේදී තවත් 'ගඩොල්' ගැලවී යාමට ඉඩ ඇති බව නොවේද?

යුරෝපා හවුලෙන් දික්කසාද වීමට බ්‍රිතාන්‍යය ගත් තීරණය නිසා මහා බ්‍රිතාන්‍යයේ පක්ෂ දේශපාලනයත් කැලඹෙන්නට පටන් ගෙන තිබේ.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ ද අත්තිවාරම බුරුල් කිරීමට පටන් ගෙන තිබීම එහි නවතම ප්‍රවණතාවයි යි.

කම්කරු පක්ෂ නායක ජෙරමි කොබින්ට විරෝධය පා එහි ඡායා කැබිනට් මණ්ඩලයේ අඩක් පමණ ඉල්ලා අස්වීමට සැරසෙන බවට වාර්තා පළ වෙයි.

මෙය සනාථ කරමින් දැනටමත් ඡායා ඇමතිවරු කිහිප දෙනෙකුම ඉල්ලා අස්වී හමාරයි.

අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමත් සමඟ මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ සටනට කොන්සවේටිව් පක්ෂය අවතීර්ණ වෙමින් සිටියි.

මේ අතරතුර ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් වීම සඳහා තවත් වරක් ජනමත විචාරණයක් ලබා ගැනීමට ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සුදානම් වෙමින් සිටීම මහ ආණ්ඩුවට තවත් හිසරදයක් විය හැකියි.

-අරවින්ද තිසර රතුවිතාන.