මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ට සමාව දීම 'අධිකරණයේ වැඩක්'

Image caption ගෝඨාභය රාජපක්ෂ

තමා ඉලක්ක කොට මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන්ට සමාව දෙන්නේද, නොදෙන්නේද යන්න තීරණය කළ යුත්තේ අධිකරණය හෝ ආණ්ඩුව විසින් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

2006 වසරේ ආරක්ෂක ලේකම් පදවියේ කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ගමන් කළ රථයට කොල්ලුපිටිය පිත්තල හන්දියේ දී එල්ල වූ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දමිළ ජාතිකයින් හතර දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සිකුරාදා විභාගයට ගැණින.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය ඉදිරියේ එයට අදාලව සිය සාක්ෂි ඉදිරිපත් කළේය.

තමන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ ජෙනීවන්ට සමාව දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ ආකාරයට, මෙම නඩුවේ සැකකරුවන්ට සමාව දීමට අදහසක නැතිදැයි මාධ්‍යවේදීහු අධිකරණ භූමියේදී ඔහුගෙන් විමසූහ.

"මේ චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙනවා. සමාව දීමක් පිළිබඳව තීන්දු කළ යුත්තේ අධිකරණයයි. ඊට අපි මැදිහත් වන්නේ නැහැ," හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

හමුදා ආරක්ෂාව

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා 'තමාට ලබා දී ඇති යුද හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන' බවට රජයට චෝදනාවක්ද කළේය.

තමා විවිධ තර්ජන වලට මුහුණ දී සිටින පුද්ගලයෙකු බැවින් හමුදා ආරක්ෂාව ඉවත් කර පොලිස් ආරක්ෂාව ලබා දීම තුලින් සිය ජීවිත ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකි බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ.

එබැවින් රජයේ තීරණය පිළිබඳව යළි සලකා බලන මෙන් වත්මන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා ඉලක්ක කොට මරා ගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයකුට පසුගියදා සමාව ප්‍රදානය කළේය.

බීබීසී යෙන්