'දේශපාලන පළිගැනීම්': බැංකු උසස්වීම්වලට තහනම් නියෝගයක්

උසස් වීම්ලැබීමට නියමිත පුද්ගලයින් සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් නොවන බවත්පෙත්සම්කරුවෝ පවසති Image copyright peoplesbank.lk
Image caption උසස්වීම් ලැබීමට නියමිත පුද්ගලයින් සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් නොවන බවත් පෙත්සම්කරුවෝ පවසති

පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පැවසෙන මහජන බැංකුවේ සේවකයන් සඳහා උසස්වීම් පනස් අටක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

ලංකා බැංකු සේවක සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය ඉහත කී නියෝගය නිකුත් කළ බවයි, එම සංගමයේ ලේකම් ඒකේ බණ්ඩාර කියා සිටියේ.

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව පවසමින් රජය සිය හිතවතුන්ට උසස්වීම් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

උසස්වීම් ලැබීමට නියමිත පුද්ගලයින් සත්‍ය වශයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව පවසන පෙත්සම්කරුවෝ, එසේ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවහොත් රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ දැඩි පරිපාලනමය අර්බුදයක් මතු විය හැකි බවට අනතුරු හඟවති.

ලබන අගෝස්තු 01 වැනි දින ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙත නොතීසි නිකුත් කෙරුණු බව කේඑස් උදයකුමාර් බීබීසී සංදේශයට වාර්තා කරයි.