මුස්ලිම් සරසවි සිසු ගැටළු ඇමතිට

Image caption 'සිකුරාදා යාඥා කරන වෙලාවට විභාග දැම්මම පරක්කු වෙලා විභාගෙට එන්න වෙන්නේ'

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන් හි මුස්ලිම් සිසුන්ට බලපාන සංස්කෘතික සහ භාෂාමය ගැටලු පවතින බව මුස්ලිම් සරසවි ශිෂ්‍ය සංවිධාන පවසති.

ඔවුන් මේ බව සංදේශයට කියා සිටියේ විශ්වවිද්‍යාල දහතුනක මුස්ලිම් ශිෂ්‍ය සංවිධාන එක් වී උසස් අධ්‍යාපන ඇමතිවරයා හමුවීමෙන් අනතුරුවයි.

මෙම හමුවට සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති හසීබ් මරික්කාර් කියා සිටියේ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරු සිසුන්ට සිංහල භාෂාවෙන් පැවැත්වෙන දේශන තේරුම් ගැනීම අපහසු බවයි.

'සමහර දේශන සිදුවන්නේ සිංහල මාධ්‍යයෙන්. එතකොට දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත් සිසුන්ට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි ඉල්ලීමක් කලා එක්කෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් දේශන පවත්වන්න, නැතිනම් සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න අවසර දෙනව නම් දෙමළ මාධ්‍යයෙනුත් පිළිතුරු ලියන්න අවසර දෙන්න කියල.' ඔහු පැවසීය.

සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත් සිසුන්ට පමණක් එම භාෂාවෙන් ම පිළිතුරු ලිවීමට අවසර දීම නිසා දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත් සිසුන්ට ලකුණු ලබා ගැනීමේදී අසීරුතාවකට මුහුණ දීමට සිදු වන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

සිකුරාදා යාඥා

මීට අමතරව සිකුරාදා දිනයන් හි යාඥා පවතින වේලාව ඇතුළත විභාග පැවැත්වීම පිළිබඳවත් යාඥා කිරීම් සඳහා විශ්වවිද්‍යාලය තුළ නිසි ස්ථානයක් නොමැති වීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

'සිකුරාදා යාඥා කරන වෙලාවට විභාග දැම්මම පරක්කු වෙලා විභාගෙට එන්න වෙන්නේ. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයවත් ඒ වෙලාවට දාන්නේ නැහැ. ඒත් සමහර කැම්පස්වල එහෙම කරනවා.' හසීබ් මරික්කාර් පවසයි.

සිකුරාදා යාඥා කෙරෙන කාලය අතරතුර විභාග හෝ දේශන නොපැවැත්වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛණ සම්පාදනය කිරීමට උසස් අධාපන ඇමතිවරයා එකඟ වූ බවයි ඔහු පවසන්නේ.

මීට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් හැකි තරම් දේශන පැවැත්වීමටත් සිංහලෙන් පිළිතුරු ලිවීමට අවසර ලැබෙන ප්‍රශ්න පත්‍ර සඳහා දෙමළ භාෂාවෙනුත් පිළිතුරු ලිවීමට අවසරය ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් උසස් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ ඉස්ලාම් ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා පැවසීය.