'ඔලිම්පික් දිනන්න කිසිම සැලසුමක් නැහැ'

Image caption ශ්‍රී ලංකාවේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියත් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා බලධාරීන් සතුව ක්‍රමවත් වැඩ පිළිවෙලක් නැති බවයි ඔහු පවසන්නේ

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් තරගයට සුදානම් බවට තොරතුරු ලැබී ඇති නමුත් දක්ෂතා වර්ධනයක් සිදුවී ඇති බවට සාක්ෂි දැන ගැනීමට නැති බව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂක යෝගානන්ද විජේසුන්දර පවසයි.

මේ වසරේ ආරම්භය වන විට ඔලිම්පික් තරගාවලියට සහභාගීවන්නන් නම් කර තිබුණු නමුත් ඔවුන් දකුණු ආසියාතික ක්‍රීඩා තරඟාවලියට සහභාගීවී කිසිදු ප්‍රගතියක් පෙන්වා දී නැති බවයි බීබීසීයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ.

රන් පදක්කම්

"අපි ඔක්කෝම හිතුව මේ ඔලිම්පික් යන තුන්දෙනා හින්ද රන් පදක්කම් තුනක් ගනියි කියල. හැබැයි තුන්දෙනාම දිනුවේ නැහැ. එතෙන්දි දක්ෂතාවයත් අඩුවෙලා තියනව. දැන් පැහැදිලිව පේනවා දුර්වලයි කියල. ඉතිං මොකක්ද ගත්ත තීරණේ. විදේශ රටවලට යැව්වද? ඒ මොකුත් නැහැ" යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

අවම වශයෙන් දක්ෂ පුහුණු කරුවෙකු ලංකාවට ගෙන්වා ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහාවත් කටයුතු කර නැති හෙයින් සහභාගීවීම පමණක් සිදුවනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ඒ මගින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටියත් ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා බලධාරීන් සතුව ක්‍රමවත් වැඩ පිළිවෙලක් නැති බවදැයි විමසූ විට ඔහු කියා සිටියේ දක්ෂතා හඳුනාගැනීමට හැකියාව තිබුණත් දක්ෂතා කළමනාකරණය කිරීමක් ශ්‍රී ලංකාව තුළ සිදු නොවන බවයි.

'කට වචන විතරයි'

"මේවා නිකං කතාවට විතරයි. දැන් වෙන එකක් තියා 2020 දී ඔලිම්පික් දිනන්නත් අපි ප්ලෑන් කරනව, හැබැයි වෙච්ච දෙයක් නැහැ. ඒවා කට වචන විතරයි. දීර්ඝකාලීන සැලසුමකට සිදුවෙන්නේ නැහැ" යනුවෙන් පැවසූ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂකවරයා මතුකොට දැක්වුයේ මෙතෙක් ලැබූ ජයග්‍රහණ සැලසුම් වල ප්‍රතිඵල ලෙස නොව හදිසියේ ලද ඒවා බවයි.

සාක් තරඟාවලියේ දී ඔලිම්පික් තරගයට පවා සුදුසුකම් ලබා ඇති ඉන්දියානු ක්‍රීඩිකාවන් පරදා ජය ගැනීමට ශ්‍රී ලංකික ක්‍රීඩිකාවන් සමත්වී ඇති බව පෙන්වාදුන් විට ඔහු පැවසුවේ එම පරාජය වූ ක්‍රීඩිකාව දක්ෂතා වර්ධනය කරගෙන ඔලිම්පික් තරගය සඳහා සුදුසුකම් ලැබුවද ජයග්‍රහණය ලැබූ ක්‍රීඩිකාවට ප්‍රමාණවත් සහයෝගයක් බලධාරීන් විසින් ලබා නොදෙන බවයි.

'ක්‍රීඩාංගණත් විනාශ වෙලා'

"පෞද්ගලික පුහුණුකාරිනියයි, ක්‍රීඩකයයි ඒ ගොල්ලන්ගේ දෙමව්පියොයි එක්කහුවෙලා, එහෙම නැතිනම් ඉගෙනගත්තු පාසල් එකතුවෙලා තමයි ඒ ලමයව හදන්නෙ" යනුවෙන් පැවසූ ඔහු එම තත්වය කිසිසේත්ම ජාතික ක්‍රීඩා මට්ටමෙන් සැලකිය නොහැකි බවයි සඳහන් කළේ.

පවතින ක්‍රීඩාංගණයකට බැම්මක් බැඳීමෙන් හෝ කාණුවක් සකසා දීමෙන් අලුතින් ක්‍රීඩාංගණ නිර්මාණය නොවන බව පැවසූ ඔහු සුගතදාස ක්‍රීඩාංගණය වැනි පහසුකම් තිබූ ස්ථාන පවා විනාශ වීමට ඉඩ හැර ඇති බවයි පැවසුවේ.

මේ තත්වය යටතේ පහසුකම් ලබා නොදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් පමණක් බලාපොරොත්තු වීම අසාධාරණ බවයි ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂක යෝගානන්ද විජේසුන්දර ප්‍රකාශ කළේ.

ඔහු පැවසූ අදහස් පිළිබඳව රජයේ අදහස් දන ගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය ගත් උත්සාහය අසාර්ථක විය.

බීබීසී යෙන්