වන මං මැදින් කතරගමට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වන මං මැදින් කතරගමට

පෙරහැර සමයට සමගාමීව උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පාද යාත්‍රාවේ එන හින්දු බැතිමතුන් නැගෙනහිර පළාතේ අවසන් ගම්මානය වූ පානම ගම්මානය පසු කර කුමණ සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම බලා පැමිණෙති.

මාස ගණනක සිට මස් මාංශ සහ මතින් වැළකුණු හින්දු බැතිමතුන් සැතපුම් සිය ගණනක් දුර ගෙවා කතරගම බලා පැමිණෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙනි.

යාපනය, නාගදීප, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව ආදී ප්‍රදේශවල සිට එලෙස කණ්ඩායම් වශයෙන් පැමිණෙන බැතිමත්හු පානම ඔකද දේවාලයේ දී මුරුගන් හෙවත් කතරගම දේවියන්ට පුද පූජා පවත්වා වනෝද්‍යානය හරහා නැවත ගමන් ආරම්භ කරති.

වනෝද්‍යානය තුළ දින තුනක් හෝ හතරක් රැය පහන් කරමින් ගමන් කරන වන්දනාකරුවන් කතරගම දේවාල පුදබිම වෙත පැමිණීමට පෙර දින කිපයක් කටගමුව හෝ කොච්චිපතාන ප්‍රදේශයේ නැවතී පාද යාත්‍රාවේ එන සෙසු බැතිමතුන් සමග කණ්ඩායම් වශයෙන් දේවාලයට යෑම සිරිතක්.

අත්හැරීම, සැකසුරුවම, කළමනාකරණය, සුහදත්වය, ජීවිතයේ දුෂ්කර බව යනාදී අභියෝග වලට මුහුණ දෙමින් ආගම ඇදහීම පාද යාත්‍රාවේ ප්‍රධාන අරමුණක් බවයි බැතිමතුන් පවසන්නේ.

බාල, තරුණ, මහලු සහ ආබාධිත පිරිස් ද බැතිමතුන් අතර දැකිය හැක.

යාපනේ නාගදීපයේ නාගපූසනී කෝවිලේ සිට පසුගිය මැයි මාසයේ හතරවෙනිදා පිටත් වූ වන්දනා නඩයක සිටි මැදිවියේ කාන්තාවක වූ එම් සිවමනී කියා සිටියේ වර්තමානයේ රට තුළ පවතින සාමකාමී වාතාවරණය තවදුරටත් රැක දෙන්නැයි ඉල්ලා පා ගමනේ දී මුරුගන් දෙවියන් යදින බවයි.

වන මං මැදින්

ව්‍යපාරිකයන්, ඉහළ රැකියාවල නියුතු වූවන්, විශ්‍රාමිකයන්, ගොවින්, ධීවරයන් ඇතුළු විවිධ සමාජ ස්ථරවලට අයත් ජනතාව පාද යාත්‍රාවට එක්ව සිටිති.

වන මං තරණය කරමින් කතරගම බලා යන වන්දනාකරුවෝ බාගුරා කළපුව, මඩමෙතොට, ලිං තුන, පොත්තන, කටුපිල ආර, පිළින්නාව, වරහන, යන ස්ථාන රැය පහන් කිරීමට තෝරා ගනිති.

පා ගමනේ දී කුඹක්කන් ඔය සහ මැණික් ගඟ තරණය කරන බැතිමතුන් ඇතැම් වගුරු සහ ආරවලින් ගමන් ගන්නේ බඩු මුට්ට හිස තබා ගෙන කරවටක් ජලයේ බැසයි.

අද වන විට ගමන් මගේ තැනින් තැන පානීය ජලය ලබා ගැනීමට ප්ලාස්ටික් ජල ටැංකි ස්ථාපිත කොට ඇත.

වන මෘගයන්ගෙන් බැතිමතුන් රැක ගැනීම සඳහා ලිංතුන කෙන්ද්‍ර ගත කොට යුද හමුදා අනුකණ්ඩයක් ද මඟ දෙපස ස්ථාපිත කොට තිබේ.

පාද යාත්‍රවේ එන බැතිමතුන්ට සහන සැලසීම සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ද, පිලින්නාව ප්‍රදේශයේ ආහාරපාන ලබා දෙන දන්සැලක් පිහිටුවා ඇත.

පුදසුන ඉදිරියේ

කලකට ඉහත දී මෝටර් රථයක හඬක් කණ නොවැකුණු මේ ගමනේ පාරම්පරික බව අද වනෝද්‍යානයේ සැරිසරන බව්සර්, ට්‍රැක්ටර් ආදියේ හඬින් යට පත් වී ඇති බව වැඩිහිටි බැතිමත්හු පවසති.

මියගිය සතුන්ගේ ඇටකටු, අලි ඇතුන්, වළසුන්, දිවියන්, කුලු මීමුන් ආදී වන මෘගයන්ගේ හඬමැද සියවස් කිපයක් ආ ගමන නව පහසුකම් නිසා නුදුරු අනාගතයේ නැත්තට ම නැති ව යනු ඇතැයි වයෝවෘද්ධ බැතිමත්හු බිය පළ කරති.

සති කිපයක් තිස්සේ සැතපුම් සිය ගණනක් මඟ ගෙවා පැමිණෙන බැතිමත්හු කතරගම මහ දේවාලයේ පූජා පවත්වා කාවාඩි නැටීමට එක් වෙති.

පාද යාත්‍රාවේ ආ බැතිමතුන් කතරගම සිට පොදු මගී ප්‍රවාහන බස් සේවා ඔස්සේ නැවත ගම්බිම් බලා ගමන් ගන්නේ කතරගම පෙරහැර අවසන් වීමත් සමගයි.

පාද යාත්‍රාවට එක්ව වනෝද්‍යාන හරහා කිලෝමීටර 110ක් පමණ දුර ගෙවා කතරගම බලා පැමිණි අජිත්ලාල් ශාන්තඋදය සංදේශයට තැබූ සටහනක්.