'කලාවට නිර්දය තහංචි පැනවීමෙන් සිදු වන්නේ අගතියක්'

Image copyright IFFCOLOMBO.COM

කලා නිර්මාණ වලට අධිකරණය මගින් නිර්දය තහංචි පැනවීම නුසුදුසු බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කරයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මේ බව කියා සිටියේ මේ දිනවල දිවයින පුරා ප්‍රදර්ශනය වන 'ආදරණීය කතාවක්' චිත්‍රපටිය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය විසින් සිදු කරනු ලැබූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින්.

චිත්‍රපටියක් නිර්මාණය කිරීම සඳහා අසීමිත මුදලක් වැය වන බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා ඊට නිර්දය තහංචි පැනවීම තුළින් කලාකරුවාට මෙන්ම ප්‍රේක්ෂකයාට බලවත් අගතියක් සිදු වන බවයි කියා සිටියේ.

අදාළ චිත්‍රපටිය තුළ දුම් පානය කරන දර්ශන දහයක් සහ මත්පැන් පානය කරන දර්ශන දෙකක් ඇතුළත් බැවින් එය දුම්වැටි සහ මත් ද්‍රව්‍ය පිළිබඳ අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පොලිසිය සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ.

එහෙත් තීන්දුව දෙමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාළ පනත යටතේ චිත්‍රපටියක් තහනම් කිරීමේ බලය අධිකරණයට ලබා දී නොමැති බවයි.

ඒ අනුව පොලිසිය ඉල්ලා සිටි තහනම් නියෝගය නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර 'ආදරණීය කතාවක්' චිත්‍රපටියේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ කියා සිටියේ "මෙය සමස්ථ කලා ක්ෂේත්‍රයේම උන්නතියට බලපාන තීන්දුවක්" බවයි.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටියේ අඩංගු විවාදයට තුඩු දෙන දර්ශනවලින් නීතිය උල්ලංඝනය වන්නේ දැයි විභාගයක් පවත්වන බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා එම විභාගය ලබන 29වෙනිදා සිදු කරන බවයි නිවේදනය කළේ.