අමාත්‍ය මහින්ද සමරසිංහ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් ජනපති අනුමත කළේ නැහැ'

ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශයකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟ වූ බවට පල වූ පුවත්පත් වාර්තාව නිවැරදි නොවන බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගිය සති අන්තයේදී ඉරාක හා ලිබියාවේ යුද්ධය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් බටහිර රටවලට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් බවට පුවත්පතක් මගින් වැරදි අර්ථකතනයක් ලබා දී තිබෙන බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ.

"එතුමා එතන අවස්ථාවක් කර ගත්තේ නැහැ, බටහිර රටවලට ගහන්න. එහෙම දෙයක් එතුමාගේ කතාවේ කොහෙත්ම නැහැ. එතුමා ටෝනි බ්ලෙයාර් හිටපු අගමැතිතුමා ගැන මතයක් කියල තියෙනවා. ඒක චිල්කොට් වර්තාවෙත් තිබෙනවා' අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අයිලන්ඩ් පුවත්පත වාර්තා කර ඇති පරිදි ජනාධිපතිවරයා කිසිදු විටක සිය කතාවෙන් ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සමග එකඟ වූයේ නැති බවද ඇමතිවරයා සඳහන් කළේය.

"ජනාධිපතිතුමා කිව්වේ, ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් කියල තියෙනවා ඉරාකයේ හා ලිබියාවේ නායකයන් ඝාතනය කිරීම තමයි කරන ලද බරපතළම වැරැද්ද ජාත්‍යන්තර ත්‍රස්තවාදය වර්ධනය වෙන්න කියලා, එතුමා එච්චරයි කිව්වේ, ට්‍රම්ප් කියපු එක හරියි කිව්වේ නැහැ'

මෙම මාධ්‍ය හමුවේදී වැට් බද්ද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා තීන්දුව සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ බීබීසීය රජයේ ප්‍රතිචාරය විමසා සිටි අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළ අදහස් ඉහත වීඩියෝ දැක්වේ.