උතුරේ ධීවරයෝ වීදි බසිති

Image caption ශ්‍රී ලංකා රජය කවර අන්දමකින් හෝ එකඟ නොවිය යුතු බව

ඉන්දීය ධීවරයන් ට්‍රෝලර් යාත්‍රා යොදා ගනිමින් උතුරු මුහුදේ සිදු කරන නීති විරෝධී මසුන් මැරීමට විරෝධය පා උතුරේ ධීවරයෝ උද්ඝෝෂණයක් දියත් කළහ.

ඉන්දීය ධීවරයින් විසින් කාලයක සිට උතුරු මුහුදට අනවසරයෙන් පැමිණ ට්‍රෝලර් යාත්රා උපයෝගී කරගෙන නීති විරෝධී අන්දමට කරගෙන යන මසුන් මැරීම නීති සහගත කරණ මෙන් ඉන්දීය රජය හා ඉන්දීය ධීවර සමිති කරන ඉල්ලීමට අවනත නොවන ලෙස ශ්‍රී ලංකා රජයට බල කිරීමටයි මෙම විරෝධතාව දියත් වූයේ.

උතුරු පළාත් සභාව ඉදිරිපිටදී පැවැත්වුණු මෙම උද්ඝෝෂණයට උතුරේ සියලුම ධීවර සමිතිවල සහ දකුණේ ධීවර සමිති කිහිපයක ද සහයෝගය ලැබුණු බවයි දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

Image caption දකුණේ ධීවර සමිති කිහිපයක ද සහයෝගය

ධීවර සමීති නායකයින් කියා සිටින්නේ ඉන්දියාව විසින් කරණ ලද ඉල්ලීමට අනුව වසරකට දින හැත්තෑපහක කාලයක් හෝ සතියකට දින දෙකක කාලයක් ඉන්දීය ධීවරයින්ට කිසිදු අවහිරයකින් තොරව උතුරු මුහුදට පැමිණීමට ඉල්ලා ඇති බවයි.

ඊට ශ්‍රී ලංකා රජය කවර අන්දමකින් හෝ එකඟ නොවිය යුතු බව උතුරේ ධීවර සමිති නායකයෝ පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ ට්‍රෝලර් යාත්රා ක්‍රමය නීති විරෝධී ධීවර ක්‍රමයක් බවයි.