ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගයයි

ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගයයි Image copyright Getty Images

ඇමරිකානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා ඉතිහාසයේ ශක්තිමත්ම අවදිය වර්තමානයේ දක්නට ලැබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයන් අනුගමනය කරමින් දෙරට පොදු ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියාත්මක වන බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පවසයි.

ඇය ඒ බව කියා සිටියේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ප්‍රතිසංස්කරණ උදා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියා න්‍යාය පත්‍රය අතින් ශ්‍රී ලංකාව ස්ථීර සාර පියවර ගනිමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි එහිදී සඳහන් කළේය.

'ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් භාර මහ කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් සමග සමීපව කටයුතු කිරීම අපි දැඩි ලෙස අගය කරනවා' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

'ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය, වසර එක හමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉතිහාසයේ පැවති ඉහලම මට්ටමට ගෙන ඒමට දෙරට සමත් වී තිබෙනවා' මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය.

දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් බදාදා උදෑසන විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමු වී සාකච්ඡා කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්