වැට් බද්ද ගැන ව්‍යාකූල තත්වයක් - ඇමති යාපා

වැඩ බලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන Image copyright Getty Images
Image caption "ව්‍යාකූලත්වයක් තිබෙනවා. අද දිනයේ බොහෝ දුරට නඩු තීන්දුව ලැබෙයි. ඊට පස්සේ අදාළ තීරණ ගන්නවා"

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් මතු වී තිබෙන බව තමා පිළිගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැඩි කළ වැට් බද්ද තාවකාලිකව අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිල වශයෙන් මුදල් අමාත්‍යංශයට ලැබීමට නියමිතව ඇත්තේ අද (13) දින බවයි.

ඉන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කොට අවශ්‍ය පියවර ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේය.

"ව්‍යාකූලත්වයක් තිබෙනවා. අද දිනයේ බොහෝ දුරට නඩු තීන්දුව ලැබෙයි. ඊට පස්සේ අදාළ තීරණ ගන්නවා"

පසුගිය කාලයේත් බදු වැඩි කිරීමේදී පාර්ලිමේන්තුවේ අවසරය පසුව ලබාගත් අවස්ථා තිබෙන බව සිහිපත් කළ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නව තත්වයක් බවයි සඳහන් කළේ.

"17 වැනිදා හෝ 18 වැනිදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අවසාන සාකච්ඡාවක් පවත්වනවා. 20 වැනිදා අපි ඒ පිළිබඳ ගන්නා තීන්දුව ප්‍රකාශයට පත් කරනවා"

වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ සඳහා වැට් බදු අය කිරීම නිසා පාරිභෝගික භාණ්ඩවල මිල වැඩි වී ඇති බව කියා සිටි අමාත්‍යවරයා එලෙස කටයුතු කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික අධිකාරය කටයුතු කරන බවයි වැඩිදුරටත් පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර