බැසිල් යලිත් රිමාන්ඩ් බන්ධනාගාරයට

Image caption මින් පෙරත් අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ ඇප මත මුදා හරිනු ලැබයි සිටියේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද (18) අත්අඩංගුවට ගත් ආර්ථික කටයුතු භාර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ලබන අගෝස්තු මාසයේ 01 වෙනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

හිටපු ආර්ථික කටයුතු භාර ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ දිවිනැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිතයට අදාළ චෝදනා යටතේ බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසන්නේ.

මෙය බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා ලද තුන් වෙනි අවස්ථාවයි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප නියම කල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන මෙන් නියග කළේය.

නාමල්ට ඇප

'ක්‍රිෂ්' නමැති ඉන්දීය සමාගමකින් රග්බි ක්‍රීඩාවේ දියුණුවට යයි පවසමින් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා කරමිනුයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගනු ලැබුණේ.

පොලිසිය අද අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවයි.

Image copyright Namal Rajapaksha/FB

එසේම ඇප ලබා දෙනු ලැබුනොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියේ.

එහෙත් නාමල් රාජපක්ෂ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට තහවුරු කෙරෙන සාක්කි ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති නිසා සැකකරුට ඇප නියම කිරීමට අධිකරණය තීන්දු කල බව විත්තියේ නීතිවේදී ප්‍රේමනාත් දොලවත්ත ප්‍රකාශ කළේය.

පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය නාමල් රාජපක්ෂ නමින් වාණිජ බැංකු හතරක පවතින ගිණුම් පිළිබඳ විස්තර පොලිසිය වෙත ලබා දෙන මෙන් එම බැංකුවල කළමනාකරුවන්ට නියෝග කර ඇත.

ඇප මත නිදහස් වීමෙන් පසුව ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ තමාට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර