උතුරේ ජනතාවට ප්‍රශ්නයක් තිබෙන බව පිළිගත යුතුයි - ජනපති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා - ජනාධිපති

ශ්‍රී ලංකාවේ උතුරේ ජනතාවට ප්‍රශ්නයක් පවතින බව රටේ සියලු දෙනා විසින් පිළිගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ජර්මන් රජයේ ආධාර මත ඉදි කෙරුණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා කිලිනොච්චියේ සිදු කළ සංචාරයක දී මහජන හමුවක් අමතමිනි.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාතීන් අතර සමගිය ඇති කිරීමේ ව්‍යායාමයේ දී සියලු දෙනා විසින් දැනට පවතින ප්‍රශ්න ගණනාවක් තේරුම් ගනිමින් ඒවා නිරාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙමින් පවතිද්දී ඇතැමුන් ඒ සම්බන්ධයෙන් අසත්‍ය මත පතුරුවා හරිමින් ඇතැයි සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 'නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කරන්නේ රට බෙදීමට නොව රට එක්සත්ව තබා ගැනීමට' බවයි කියා සිටියේ.

යාපනයේ සිසු ගැටුම

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් සිය ප්‍රතිඥාව ඉටු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අතරවාරයේ 'ඇතැමුන් අලුත් බලවේග හැදීමේ උත්සාහයක නිරත වෙමින් සිටින්නේ කුමන පරමාර්ථයකින් දැයි' ප්‍රශ්න කළේය.

ජාතික සංහිඳියාව ගොඩ නැගීම පිළිබඳ පාඩම ඉගෙන ගන්නා මෙන් තමා එම අලුත් බලවේගය සැදීමට උත්සාහ ගන්නා පුද්ගලයන්ට කියා සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා 'විශ්ව විද්‍යාල රටේ සංහිඳියාව ගොඩ නගන මධ්‍යස්ථාන බවට පත් කළ යුතු' බවයි පෙන්වා දුන්නේ.

රටේ තරුණයන්ට රැකියා ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සිදු වී ඇත්තේ අධ්‍යාපන ක්‍රමයේ වරදින් යයි පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩි දුරටත් කියා සිටියේ එම තත්වය වෙනස් කිරීමට කටයුතු කරන බවයි.