යාපන විශ්ව විද්‍යාල ගැටුමට 'බාහිර පිරිසක් සම්බන්ධ වෙලා'

Image copyright University of Jaffna
Image caption ගැටුමෙන් අනතුරුව යාපන විශ්ව විද්‍යාලය දින නියමයකින් තොරව වසා දමා තිබේ

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට පිටස්තර පිරිසක් සම්බන්ධ වී ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

"මෙම උත්සවයට පිටින් පිරිසක් සම්බන්ධ වෙලා මේ සුළු ආරවුල අනවශ්‍ය විදිහට විකෘති කරලා තියෙනවා," අමාත්‍යවරයා පැවසීය.

"පොලිසියට දන්වල තියෙනවා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියල. කාටවත් නිතිය අතට ගෙන වැඩ කරන්න බැහැ," යනුවෙන්ද අමාත්‍යවරයා කියා සිටියේ, ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවෙකුගේ සුව දුක් විමසීම සඳහා රෝහලට පැමිණි අවස්ථාවේදී.

"අද මම හම්බවුනු දරුවා අඳුරගෙන තියෙනවා කවුද ගැහුවේ කියලා. පොලිස් පරීක්ෂණ මේ ගැන සිදුවෙනවා."

ශිෂ්‍ය නායකයෝ

ගැටුම හේතුවෙන් මේ වන විට යාපනය විශ්ව විද්‍යාලය දින නියමයකින් තොරව වසා දමා තිබේ.

සිසු ගැටුම යොදාගෙන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමට සිංහල හා දෙමළ අන්තවාදී කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවට අමාත්‍යවරයා චෝදනා කළේය.

"උතුරේ විතරක් නෙවෙයි දකුණේත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා. මේවා දුර දිග යන්නේ නැතුව අපි ගොඩින් බේරගන්න ඕනේ."

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් ලබන 22 වැනි දින යාපනයට ගොස් පීඨාධිපතිවරුන් සහ ශිෂ්‍ය සංගම් සමඟ සාකච්ඡා කර විශ්ව විද්‍යාලය යළි විවෘත කරන දිනයක් තීන්දු කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද කොළඹදී පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ගැටුම පිළිබඳව අදහස් දැක්වීය.

"ජාතිවාදය හැදෙන කම් බලාගෙන ඉන්න අයට හොඳ වැඩක් තමයි මේක," අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

ආචාර්යවරු

"එක පැත්තක ඉඳල අධ්‍යාපන අයිතීන් දිනාගන්න අරගල කරන්න ඕන පිරිසක් දැන් ගැටුමකට මැදිහත්වෙලා තිබෙනවා නර්තනයක් ගැන. මේ සිද්ධිය යොදාගෙන විශ්ව විද්‍යාල පද්ධතියට ජාතිවාදය ඇතුලත් කිරීමේ උත්සාහයක් තිබෙනවා."

එම උත්සාහය පරාජය කිරීමට සියලු වාමාංශික බලවේග එකතු විය යුතු බවත් ලහිරු වීරසේකර වැඩිදුරටත් පැවසීය.

ශිෂ්‍යයන් අතර ගැටුම ජාතිවාදී කණ්ඩායම්වල දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු ඇතුළු යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරු අවධාරණය කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර