'මහින්දට ලැජ්ජ නැතිවුනාට අපිට ලැජ්ජයි'

Image copyright AP
Image caption "යෝජිත කාර්යාලයේ සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් සහ බටහිර අනුග්‍රහය ලබන යුද අපරාධ අධිකරණවල සේවය කළ පුද්ගලයන් පමණයි"

අසූව දශකයේ අග භාගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතුරුදහන්වූවන් වෙනුවෙන් හඬ නැගුවේ දේශපාලන වාසි ලබාගැනීම පිණිස පමණක් බව දැන් හොඳින්ම පැහැදිලි යයි මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

'අතුරුදහන්වූවන්ගේ පියා' ලෙසින් පෙනී සිටිමින් භීෂණ සමයේදී ඔහු උද්ඝෝෂණ දියත් කළේ ආරක්ෂක හමුදා සහ පොලිසිය ඇතුළු කණ්ඩායම් යොදාගනිමින් පැවති රජය විසින් කරන ලද අපරාධවලට එරෙහිව බවයි, රයිට් ටු ලයිෆ් සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ.

එවක පැවති ප්‍රේමදාස පරිපාලනයේ නියෝග යටතේ ආරක්ෂක හමුදා භටයන් 'පහත්, නින්දිත කියාවල' නිරත වූ බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් පත්කරන ලද කොමිසමේ තීන්දුව වූ බවත් බ්‍රිටෝ ප්‍රනාන්දු සිහිපත් කළේය. හිටපු ජනපති මහින්දත් චන්ද්‍රිකා පාලනයේ ප්‍රබලයකු විය.

කලක් හිටපු ජනපතිවරයා සමඟ එක්ව අතුරුදහන්වූවන් වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදුනු බ්‍රිටෝ ප්‍රනාන්දු ඒ බව සඳහන් කළේ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) නමින් ආයතනයක් පිහිටුවීමේ ආණ්ඩුවේ උත්සාහය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ල කරන විවේචනවලට ප්‍රතිචාරය පළ කරමින්. (සාකච්ඡාවට සවන්දෙන්න)

Image caption "ආර් ප්‍රේමදාස, විජය කුමාරණතුංග, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි නායකයන් ඝාතනය කිරීම ගැනත් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සොයා බැලිය යුතුයි"

යෝජිත ආයතනය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියට ඇතුලත් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් පවසන හිටපු ජනපතිවරයා, එය විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා 'දඩයම් කිරීමේ ක්‍රියාදාමයක' කොටසක් ලෙසින්.

"ඒ වෙලාවේ පොලිසියේ, හමුදාවේ අපරාධවලට විරුද්ධව පෙනී හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයට අද කොහොමද හමුදාව සුද්ද වෙන්නේ?" බ්‍රිටෝ ප්‍රනාන්දු ප්‍රශ්න කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.

"මහින්ද රාජපක්ෂ මහත්තයට ලැජ්ජ නැතිවුනාට අපිට ලැජ්ජාවක් තියෙනව," ඔහු පැවසීය. අපරාධයක් කළේ නම් වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතු බවයි ඔහු පවසන්නේ.

අදාළ ආයතනය කාර්යාලයක් ලෙසින් හඳුන්වන නමුත් එය විමර්ශන සභාවක් බව පෙන්වා දෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, රටේ සාමානය නීති රීතිවලට පිටින් කටයුතු කිරීමට එයට හැකියාව ලැබෙන බවත් සිය නිවේදනයේ සඳහන් කරයි.

Image caption "මහින්ද රාජපක්ෂ මහත්තයට ලැජ්ජ නැතිවුනාට අපිට ලැජ්ජාවක් තියෙනව"

කෙසේ නමුත් මෙය කිසිසේත්ම ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවන බව පෙන්වා දෙන බ්‍රිටෝ ප්‍රනාන්දු, ඒ පිළිබඳව තමන්ටද විවේචනයක් තිබෙන බවත් බීබීසී සංදේශයට පැවසීය.

සත්‍යය සොයා යාම හැරුණු විට අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකිරීමේ බලතල එම කාර්යාලයට පවරා දී නොතිබීම ඒ විවේචනයයි.

"මොකද රටක පුරවැසියකුට සිදුවුණ දේ මොකක්ද කියල කියන්න බැරි නම් ඒ රටත්, ඒ රටේ සමාජයත්, ඒ රටේ ආණ්ඩුවත් ඉතාමත් පසුගාමී තැනක ඉන්නවා කියලයි මම හිතන්නේ."

අතුරුදහන්වූවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කොමිසමේ සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ අතුරුදහන්වීම් අතින් දෙවැනි ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකාවට. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා දුන්නේ නම් ශ්‍රී ලංකාවට පලමු ස්ථානය හිමි විය යුතු බවත් රයිට් ටු ලයිෆ් සංවිධානයේ මතයයි.

Image caption "රෝහණ විජේවීර ඝාතනය වැනි සිදුවීම් ගැනත් සත්‍යය හෙළි කළ යුතුයි"

ආණ්ඩුව විසින් පත්කිරීමට යෝජිත කාර්යාලයේ සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ 'බටහිර මුදලින් නඩත්තු වන' රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් සහ 'බටහිර අනුග්‍රහය ලබන යුද අපරාධ අධිකරණවල' සේවය කළ පුද්ගලයන් පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එල්ල කරන තවත් විවේචනයක්.

එයට පිළිතුරු දෙන රයිට් ටු ලයිෆ් සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු පවසන්නේ හිටපු ජනපතිවරයාත් අනූව දශකය මුලදී ජිනීවා නගරය බලා ගියේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය අනුග්‍රහය සහිතව බවයි.

"එයා මතක තියාගන්න ඕන එයත් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී යැපුණේ ඔය එන්ජීඕ වලින් කියල." (සාකච්ඡාවේ හඬ පටය)

අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ (OMP) වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතත් බල රහිත වන බව හිටපු ජනපතිවරයා එල්ල කරන තවත් විවේචනයක්. ඒ පිළිබඳව අදහස් දක්වන මානව හිමිකම් ක්‍රියාධරයා, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමට 'අකුල් හෙලූ' පාලකයකුට ඒ පිළිබඳව කතාකිරීමට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි ප්‍රශ්න කරයි.

අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පමණක් නොව ආර් ප්‍රේමදාස, විජය කුමාරණතුංග, රෝහණ විජේවීර, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි දේශපාලන නායකයන් ඝාතනය කිරීම පිළිබඳවත් අදාළ කාර්යාලය මගින් සොයා බැලිය යුතු බවත් බ්‍රිටෝ ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.