'උතුරේත් දකුණේත් රැකියා විරහිත උපාධිධාරීන් තිස්දහසක්'

'උතුරේත් දකුණේත් රැකියා විරහිත උපාධිධාරීන් තිස්දහසක්'

රැකියා ලබා දෙන ලෙස රජයට බල කරමින් යාපනයේ රැකියා විරහිත උපාධිධාරීහු යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙති.

උපාධිය ලබාගෙන වසර හතක් ඉක්ම ගොස් ඇතත් තවමත් රැකියා නොමැති හාරසියයක පමණ පිරිසක් යාපනය දිස්ත්‍රික්කය තුළ සිටින බව විරෝධතාකරුවෝ පවසති.

සමස්තයක් ලෙස ගත් විට උතුරු පළාත තුළ රැකියා විරහිත උපාධිධාරීන් හයදහසක් පමණ සිටින බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.

විරෝධතාව සඳහා සමස්ත ලංකා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු දකුණේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් කීපයක සහයෝගය ලැබී තිබිණි.

2012 වර්ෂයේ සිට මේ දක්වා රට තුළ රැකියා විරහිත උපාධිධාරීන් තිස් දහසක් පමණ සිටින බව පවසන රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය එම සංඛ්‍යාව රටේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව දෙස බලන විට ඉතා ස්වල්ප ප්‍රමාණයක් බවද සඳහන් කළේය.

'උතුරත් දකුණත්'

මේ වන විට රට තුළ විවිධ පුරප්පාඩු පනස් දහසක් ඇති බව පෙන්වා දෙන රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි එම පුරප්පාඩු පිරවීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන් යොදා ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

උතුර දකුණ යා කරමින් ජාති භේදයකින් තොරව සංවිධානය වී ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සංදේශයක් යැවීමට අත්සන් ලබා ගැනීම යාපනයෙන් ආරම්භ කළ බවත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.

මින් ඉදිරියට කිසිවකුටත් සිය සංවිධානය බෙදා වෙන් කිරීමට ඉඩ නොතබන බවත් එම සංගමය අවධාරණය කළේය.

රජය තම ඉල්ලීමට ඇහුම්කන් නොදෙන්නේ නම් ලබන අයවැයට පෙර කොළඹට එක් රැස් වී තමන්ට රැකියා ලබා දෙන මෙන් ජනාධිපතිවරයාට හා රජයට බල කොට සිටීමටත් යාපනයේ පැවති විරෝධතාවයේදී තීරණය කොට තිබේ.

බීබීසී යෙන්