ඉන්දීය ආධාර ගිලන් රථ සේවාව ඇරඹෙයි

Image caption මේ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකිකයන් 550 දෙනුකුට රැකියා අවස්ථා හිමිවුණු බවයි අද පැවති සම්භාරම්භක උත්සවයේදී නිවේදනය කළේ

ඩොලර් මිලියන 7.6ක ඉන්දියානු ආධාර ඇතිව ක්‍රියාත්මක වන හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව අද (28) දා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති උත්සවයකදී, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නිල වශයෙන් ආරම්භ කරනු ලැබුණි.

පළමු පියවර ලෙස බස්නාහිර හා දකුණු පළාත්වල මෙම ගිලන් රථ සේවය නොමිලේ ක්‍රියාත්මක වනු ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගෙන් කල ඉල්ලීමක් මතයි ඉන්දීය රජය මෙම ගිලන් රථ සේවය ලබාදීම සදහා එකගතාවය පලකළේ.

කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය අරම්භ කිරීමටත් පෙර ඊට අවස්ථා ගණනාවක දී විරෝධතා එල්ල විය.

ඉන්දීය ජාතිකයන්ට රැකියා ලබා දෙන වැඩ පිළිවෙළක් ලෙස මෙය හදුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවය මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙම ව්‍යාපෘතිය විවේචනයට ලක් කළහ.

කෙසේනමුත් රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සදහන් කළේ ඉන්දීය ආධාර මත ක්‍රියාත්මක වුවද මෙහි රැකියා හිමිවන්නේ ශ්‍රී ලාංකිකයන්ට බවයි.

මේ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකිකයන් 550 දෙනුකුට රැකියා අවස්ථා හිමිවුණු බවයි අද පැවති සම්භාරම්භක උත්සවයේදී නිවේදනය කළේ.

සමාරම්භක උත්සවය ඇමතු අගැමති රනිල් වික්‍රමසිංහ මෙම සේවය ශ්‍රී ලංකාවට ලබාදීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පින් අනුමෝදන් කළ යුතු බව සඳහන් කළේය.

" ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි පූර්ව රෝහල් ප්‍රතිකාර ඒකකයක් අපට ලැබී තිබෙනවා. බස්නාහිර සහ දකුණ පළාත්වලට මුලින් මෙම සේවය ක්‍රියාත්මක කරනවා. විශාලතම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එම පළාත්වලයි. දුෂ්කර ගම් දනව්වල වෙසෙන ජනතාවට වුවත් කුඩා රෝහලකින් සම්පූර්ණ ප්‍රතිකාරය ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා" යනුවෙන් අගමැතිවරයා පැවසීය.

"අපේ භාෂාවෙන් කියනවා නම් මේ කරන සත්කාරය පිනක්. මෙම පින අනුමෝදන් කළ යුත්තේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිතුමාටයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණ අප සමග සාකච්ඡා කරන අවස්ථාවේදී මා මෙම ගිලන් රථ සේවය පිළිබදව සදහන් කොට එය ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිදැයි විමසුවා. ඔහු කිසිදු පැකිළීමකින් තොරව එම සේවය අපට ලබාදීමට එකග වුණා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේදී සෞඛ්‍ය සේවය සදහා ඉන්දීය ආධාර ලබාගැනීමට හැකිවනු ඇතිබවට අගමැතිවරයා මෙහිදී බලාපොරොත්තු පලකළේය.

"දැනටමත් ඉන්දියාවෙන් අපට රෝහල් දෙකක් ලබාදී තිබෙනවා. අපේ වෙදකම පැමිණියේ ඉන්දියාවෙන් බව අමතක නොකළ යුතුයි. යාපනයේ දුරෙයි අප්පා ක්‍රිඩාංගනය නවීකරණය කිරීම, උඩරට දෙමළ ජනතාවට නිවාස ඉදිකරදීම ආදී වැඩකටයුතු රාශියක් නරේන්ද්‍ර මෝදි මහතා මැදිහත් වී සිදු කරනවා. ඒ පිළිබදව අප එතුමාට විශේෂ ස්තුතිය පලකරනවා" යනුවෙන් ඔහු පැවසීය.

මෙම උත්සවයට වීඩියෝ තාක්ෂණය මාර්ගයෙන් පණිවිඩයක් ඒවා තිබු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජීවිත සුරකින මෙම ව්‍යාපෘතියේ වැදගත්කම ගැන අදහස් පලකළේය.

මෙම ව්‍යාපෘතිය මගින් දකුණු හා බස්නාහිර පළාත් තුළ මිලියන 8කට වැඩි ජනතාවකට සෙත සැලසීමට හැකිවීම ගැනත් සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට ජනනය කිරීමට හැකිවීම ගැන සතුටු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

උත්සවය ඇමතු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම ගිලන් රථ සේවය ගැන වෛද්‍යවරුන් පිරිසක් දැක්වූ විරෝධය ගැන අදහස් පළකළේය.

"මුලින්ම කිව්වා රැකියා ඉන්දියානුවන්ට කියල, පස්සේ අපේ ළමයි පුහුණුවීම් සදහා ඉන්දියාවට ගියාම කිව්වා මැලේරියාව අරන් එයි කියලා, ඒවගේ නැති ප්‍රශ්ණ ඇති කරන්න හැදුවා" යනුවෙනුයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති මිතු දම විරෝධයකට තල්ලු කිරීමකට යම් පිරිසක් උත්සාහ දරන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේ.

ඉදිරියේදී අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා වෙළද ගිවිසුමට ඇතැමුන් දක්වන විරෝධය ගැනද අමතව්‍යරය මෙහිදී අදහස් දැක්වීය.

බීබීසී යෙන්