'දුම්රිය අනතුරට රජය වගකිව යුතුයි'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දුම්රිය අනතුරට රජය වගකිව යුතුයි'

කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී පුද්ගලයන් තිදෙනෙකු දුම්රියේ ගැටී මියයාම සම්බන්ධයෙන් රජය වගකිවයුතු බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සමාජිකත්ව එකමුතුව පවසයි.

රුපියල් පන්දහසක දීමනාවක් ලබා දෙන ලෙසත් රැකියාවේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් ඉල්ලා පසුගිය ඉරිදා සිට දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවෝ වැඩ වර්ජනයක නිරත වී සිටිති.

වැල්ලව ඇදගල අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී දුම්රියක ගැටුණු යතුරු පැදියක ගමන් කළ එකම පවුලේ මව සහ දියණියන් දෙදෙනකු බදාදා දහවල් මරණයට පත් විය.

මරුමුවට පත් මව තිස් දෙහැවිරිදි වියේ පසු වූ අතර දියණියන් දෙදෙනා හය සහ දෙහැවිරිදි වියේ පසු වූවෝ වෙති.

ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සමාජිකත්ව එකමුතුවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි කියා සිටියේ අදාළ අනතුරට රජය වගකිව යුතු බැවින් ප්‍රවාහන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අදාළ නිලධාරීන් වහා සිය ධුරවලින් ඉල්ලා අස් විය යුතු බවයි.

දුම්රිය මාර්ග ක්‍රියාකරුවන් බදාදා පෙරවරුවේ අනුරාධපුර -මැදවච්චිය දුම්රිය මාර්ගය අවහිර කොට විරෝධතාවක නිරත වීම හේතුවෙන් පැය තුන හමාරකට ආසන්න කාලයක් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.

පසුව සිය ඉල්ලීම් ලබා දෙන බවට ලිඛිත පොරොන්දුවක් ලැබුණු බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සමාජිකත්ව එකමුතුවේ ප්‍රධාන සංවිධායක අශෝක බණ්ඩාර පැවසීය.

කෙසේ වෙතත් අදාළ අනතුර මුල් කර ගනිමින් සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තුන් වන ලෝකයේ රටවල එවැන්නක් සිදු වී නොමැති බවත් ප්‍රවාහන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේය.