දුරකථනවලට සවන් දෙන අධි තාක්ෂණික උපකරණයක් ටෙලිකොම් ආයතනයේ

Image caption පසුගිය ආණ්ඩුව සමයේ තමන්ගේ දුරකතනවලට සවන්දුන් අවස්ථාද තිබුණු බවයි හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ

පසුගිය රජය සමයේ මෙරටට ගෙන්වූ, දුරකථනවලට රහසේ සවන් දිය හැකි අධි තාක්ෂණික උපකරණයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ගබඩාවකින් සොයා ගත් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

දේශපාලකයන්ගේ, මාධ්‍යවේදීන්ගේ හා සිවිල් ක්‍රියාකාරීන්ගේ දුරකතන සාකච්චා වලට රහසේ සවන් දී තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ බවට පසුගිය මහින්ද රාජපක්ෂ රජයට චෝදනා එලල්වී තිබුණි.

පොදු අපේක්ෂක සාකච්ඡා

තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන බලවේග වලට එරෙහිව මහින්ද රාජපක්ෂ රජය මෙවන් ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පොදු අපේක්ෂක සාකච්ඡා රහසිගතව තබා ගැනීමේ අරමුණින් වයිබර් වැනි අන්තර්ජාල දුරකථන සේවා යොදා ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වරක් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් පැවසුවේ කිසිදු ආකරයකින් දුරකථනවට සවන් දිය හැකි උපකරණ රජය සතු නොවන බවයි.

නව රජය බලයට පත්වූ පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන බීබීසීයට ප්‍රකාශයක් කරමින් පැවසුවේ දුරකථන සාකච්ඡා වලට රහසේ සවන්දීම නතර කරන ලෙස රජය නියෝගයක් ලබාදී තිබෙන බවයි.

මෙලෙස දුරකථන සාකච්ඡා වලට සවන් දීම කවුරුන් විසින් කෙසේ ක්‍රියාත්මක කලාද යන්න හෝ එම උපකරණ ඇත්තේ කොහේද යන ප්‍රශ්න වලට නව ආණ්ඩුවෙන් නිසි පිළිතුරක් මාධ්‍යවලට නොලැබුණි.

අධි තාක්ෂණික උපකරණයක්

එවන් තත්වයක් හමුවේය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගබඩාවක තිබූ බව පවසන මෙම අධි තාක්ෂණික උපකරණය ගැන කරුණු අනාවරණය කළේ.

" ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගබඩාවක භාවිතාවට ගැනීමට නොහැකි විදුලි සංදේශ රැහැන් අතර බහාලුමක තිබී තමයි මේ උපකරණ සොයාගත්තේ, තවමත් පෙට්ටි වත් කඩල නැති දුරකථන ටැප් කිරීම සදහා භාවිතා කරන මේ යන්ත්‍රය ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා වැඩි එකක් කියලයි අපි දැනුවත්, ලක්ෂයක් කියල දාල තියෙනවා අන්ඩර් ඉන්වොයස් කරලා" යැයි පැවසූ ඔහු

" මේ යන්ත්‍රය යොදාගෙන ඉතාමත් අධි තාක්ෂණික ආකාරයට ඕනෑම දුරකථන ඇමතුමකට සවන් දෙන්න පුළුවන් බව මේක පරීක්ෂා කළ අපේ ඉන්ජිනේරුවන් ප්‍රකාශ කරනවා, මේක ගෙනාපු ආකාරය ගැන හොයන්න අපි පරීක්ෂණයක් අරම්භ කරලා තියෙනවා, ලබන සතියේ මේ උපකරණය දැක බලාගන්න මාධ්‍යයට අවස්ථාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙනුයි පැවසුවේ.

භාවිතයට ගෙන නොමැති උපකරණ

මෙහිදී බීබීසීය අමාත්‍යවරයාගෙන් විමසුවේ මේවා භාවිතයට ගෙන නොමැති නව උපකරණ නම් පසුගිය කාලයේ චෝදනා කළ පරිදි පසුගිය ආණ්ඩුව දුරකථන ඇමතුම් වලට රහසේ සවන් දීමට භාවිතා කළ උපකරණ වලට කුමක් සිදුවූයේද යන්නයි.

"මේක අධි තාක්ෂණික යන්ත්‍රයක්, අනිත් ඒ වලින් කරලා ඊටත් වඩා හොඳට කරන්න තමයි මේක ගෙනල්ල තියෙන්නේ, කරපු වැඩේ තවත් හොඳට කරගෙන යන්න" යනුවෙන් ඔහු ඊට පිළිතුරු දුන්නේය.

" මේ දේවල් කරන්න පුළුවන් විදුලි සංදේශ නියාමන කොමිසම හරහා, දැනටත් තියෙන තාක්ෂණය හරහා ඒවා කරන්න පුළුවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මට කිව්වා දැන් ඒ කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ, වුවමනානම් කරන්න පුළුවන් හැබැයි ලොකු තහංචියක් පනවා තිබෙනවා ආරක්ෂක අමාත්‍යංශය තුලින් " යනුවෙන් ඔහු පැවසීය.

දේශපාලන වාසිය තකා

පසුගිය ආණ්ඩුව සමයේ තමන්ගේ දුරකතනවලට සවන්දුන් අවස්ථාද තිබුණු බවයි හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ.

" මම එක්තරා පුද්ගලයෙක් සමග පක්ෂ මාරුවක් ගැන කතාකලාම, විනාඩි 15 කට පස්සේ ඒ පුද්ගලයට කතාකරල මාත් සමග කතාකරපු ඒවා එවිදිහටම කියල තිබුනා පසුගිය රජයේ ප්‍රබලයෙක්, ඒවගේම මාධ්‍යවේදීන්ගේ දුරකතනවලට සවන්දුන්නා, පුද්ගලික දේවල් ගැන සියලු තොරතුරු හොයලා තර්ජනය කරලා තමන්ගේ දේශපාලන වාසිය තකා පසුගිය ආණ්ඩුව ඒවා යොදාගත්තා" යනුවෙනුයි ඔහු පැවසුවේ.

මෙම යන්ත්‍රය නැවතත් ලබාගත් සමාගමට ලබාදීමේ හැකියාව සොයාබලන බව ප්‍රකාශ කල අමාත්‍යවරයා ඉදිරි සතියේ දී මෙය මාධ්‍යයට ප්‍රදර්ශනය කරන බවද ප්‍රකාශ කළේය.