සෞදි රැකියා අර්බුදය: ශ්‍රී ලාංකිකයන්ට රජයෙන් සහන

සෞදි අරාබියේ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ට හිමි විය යුතු හිඟ වැටුප් ලබා ගැනීම වෙනුවෙන් එරට නීතියට අනුව ක්‍රියා කිරීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් ලබා දී ඇති බව විදේශ නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ උපුල් දේශප්‍රිය පවසයි.

මේ වන විට සෞදි අරාබියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එක් ලක්ෂ අනූ පන්දහසක් පමණ සිටින අතර ගෘහ සේවය, කර්මාන්තශාලා සහ ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ සේවය වෙනුවෙන් ඔවුන් එහි ගොස් සිටින බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදෙන කර්මාන්තශාලා දෙකක් බංකොලොත් භාවයට පත්ව ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී ඇති බව කියා සිටි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මින් එක කර්මාන්තශාලාවක ශ්‍රමිකයන් දොළොස් දෙනෙකු සහ අනෙක් කර්මාන්තශාලාවේ ශ්‍රමිකයන් සිය දෙනෙකු වශයෙන් සේවයේ නියුතුව සිටි බවයි.

Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයකි

කෙසේ වෙතත් සිය දෙනෙකු සේවය කරන කර්මාන්තශාලාව තවමත් සම්පුර්ණයෙන්ම වසා දමා නැති බැවින් ඉදිරියේ දී සේවකයන්ට ලැබිය යුතු හිඟ වැටුප් ගෙවා ඔවුන්ට නැවතත් රැකියා ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි මාධ්‍ය ප්‍රකාශක නීතීඥ උපුල් දේශප්‍රිය පවසන්නේ.

'වන්දි මුදල් ලබා දෙනවා'

ඇතැම් ශ්‍රී ලාංකික සේවකයන්ට මාස කිහිපයක වැටුප් ලබා දී නැති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබුණු පසු ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෞදි අරාබි කම්කරු උසාවියේ නඩුවක් පැවරීමට තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

බංකොලොත් භාවයට පත්ව තිබෙන කර්මාන්තශාලා වල සේවය කළ ශ්‍රී ලාංකිකයන්ට තවමත් එම කම්හල් වලින් නවාතැන් පහසුකම් ලැබෙන බව පැවසූ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ උපුල් දේශප්‍රිය වැඩි දුරටත් කියා සිටියේ ඔවුන්ට ආහාර පාන සහ අනිකුත් අවශ්‍යතා ලබා දීමට කටයුතු කරන මෙන් තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවයි.

රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ට හිමි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමටත් ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමටත් විදේශ නියුක්ති කාර්යාංශය නිරන්තරයෙන් කටයුතු කරන බවත් ඔවුන්ට ලංකාවට පෙරලා ඒමට සිදු වුවහොත් විදේශීය සේවකයන්ගේ සුබසාධන අරමුදල හරහා ඔවුන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.