මත්ද්‍රව්‍ය චූදිත රාජ්‍ය නිලධාරීහු පොලිසියට භාර වෙති

Image copyright AFP
Image caption පිලිපීන ජනාධිපති රොද්රිගෝ දුතේර්තේ

පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලද රජයේ බලධාරීන් කිහිප දෙනෙකු සිය චෝදනා පිළිගනිමින් පොලිස් භාරයට පත් වීමට කටයුතු කර ඇත.

පිලිපීන ජනාධිපති රොද්රිගෝ දුතේර්තේ විසින් මෙම බලධාරීන් රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුවම සම්බන්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබූ දිනට පසු දිනයි ඔවුන් මෙලෙස පොලිසිය වෙත භාර වී තිබෙන්නේ.

පොලිසියට යටත් වූ පුද්ගලයන් අතර නගරාධිපතිවරුන් සහ පොලිස් ප්‍රධානීන් ද සිටින බවයි වාර්තා වන්නේ.

චෝදනා වලට මුහුණ දී සිටින ඇතැම් නිලධාරීහු තමන් නිර්දෝෂී බව කියමින් එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කළහ.

සැකකරුවන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙර ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පිලිපීනයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කරති.

මේ අතර අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් වරෙන්තුවක් ඉදිරිපත් කරනු නොලබන්නේ නම් යටත් වීමෙන් වැළකී සිටින ලෙස පිලිපීන අග විනිසුරුවරයා චෝදනා ලැයිස්තුවේ නම් ඇතුළත් විනිසුරුවරයන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර