එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එල්ටීටීඊ සැකකරුවන් මුදා හරින මෙන් වැලිකඩ උද්ඝෝෂණ

දෙමළ ''දේශපාලන සිරකරුවන්'' මුදා හරින ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයන් සහ සමාජ ක්‍රියාධරයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.

යුද්ධය නිම වී වසර හතක් ගත වී ඇතත් දෙමළ දේශපාලන සිරකරුවන් කිසිදු චෝදනාවක් හෝ නොමැතිව රඳවා ගෙන සිටීම කෙතරම් සාධාරණ දැයි යන්න විරෝධතාවට එක් වී සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ශ්‍රීනාත් පෙරේරා ප්‍රශ්න කළේය.

තමන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ රැඳවියන් නැවතත් ආහාර වර්ජනයක නියැලී සිටින බවත් මේ අතර වාර්තා වේ.

විරෝධතාවට එක් වී සිටි නව සමසමාජ පක්ෂයේ නායක ආචාරය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ නිදහස ලබා දීමට පෙර හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට විෂ ශරීර ගත කොට ඇති බවට නැගෙන චෝදනාව පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

'සිය දෙනෙක් මිය ගිහින්'

අදාළ චෝදනාව විභාග කිරීම සඳහා විදේශීය පරීක්ෂණයක අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව ඇති බවත් කියා සිටියේය.

පුනරුත්තාපනය කොට නිදහස් කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයන් හදිසියේ විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී මිය යන බව පවසන උතුරේ දේශපාලනඥයන් එම රැඳවියන් නිදහස් කිරීමට පෙර ඔවුන්ට විෂ ද්‍රවයක් ශරීර ගත කොට ඇති බවට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත චෝදනා කරයි.

හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සියයකට ආසන්න පිරිසක් එලෙස මිය ගොස් ඇති බව උතුරේ මාධ්‍ය වාර්තා කොට තිබුණත් ඒ සඳහා කිසිඳු මූලාශ්‍රයක් ඉදිරිපත් කොට නොතිබුණි.

'චෝදනා ප්‍රතික්ෂේප කරනවා'

කෙසේ වෙතත් ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසූ අවස්ථාවේ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ එලෙස චෝදනාවක් ඇත්නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රජය සුදානම් බවයි.

" ඒ අය දැන් තමයි චෝදනා කරන්නේ. ඔවුන් නිදහස් වෙලා අවුරුදු කීපයක් වෙනවා. අපිට එවැන්නක් වාර්තා වී නැහැ. නමුත් එවැනි චෝදනාවක් එල්ල වෙලා තිබේ නම් පරික්ෂා කරලා බලන්න පුළුවන්"

එම මාධ්‍ය හමුවට එක් වී සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ද ඉහත කී චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

"වසර හත අටකට පස්සේ මේ චෝදනා එල්ල වෙන්නේ. පළමු වතාවට එවැනි දෙයක් අහන්න ලැබුණේ. හමුදාව සතෙකුටවත් වස දෙන්නේ නැහැ. ඒ චෝදනාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා."