පෙරහැරට අලි ඉල්ලා සත්‍යග්‍රහයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පෙරහැරට අලි ඉල්ලා සත්‍යග්‍රහයක්

අත්අඩංගුවට ගෙන රක්ෂිතවල සිටින ඇති අලි ඇතුන් නිදහස් කර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය අද (09) ශ්‍රී දළදා මාලිගාව අභියස සත්‍යග්‍රහයක නිරත විය.

මේ වන විට අලි ඇතුන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන වනජීවි දෙපාර්තමේන්තුවේ රක්ෂිත හා රැදවුම් මධ්‍යස්ථානවල ගාල් කර ඇති අතර එම සතුන්ට බලපත්‍ර පවා ඇති බවයි සත්‍යග්‍රහයට එක් වෙමින් හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති මාගල්කන්දේ සුදත්ත හිමි කියා සිටියේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන අලි ඇතුන්ගේ ඇත් ගොව්වන් පිරිසක් මහ මළුව ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට සහභාගී වී සිටියහ.

සුදත්ත හිමියන් කියා සිටියේ මේ සඳහා මැති ඇමතිවරුන් මැදිහත් නොවිය යුතු අතර ඔවුන් මේ දක්වා සිදු කළේ ගැටලුව උඩු දුවන තත්ත්වයට පත් කිරීම බැවින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තුරු මෙම සත්‍යග්‍රහය නිම නොකරන බවයි.

"එදා අලි ඇතුන් අසූවක් පමණ ගමන් කළ ඇසල පෙරහැරේ මේ වන විට ගමන් කරන්නේ අලියන් 30ක් පමණ අඩු ප්‍රමාණයක්. මේ පිළිබදව ඇති වන්නේ දැඩි කණගාටුවක්." හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.

'අලි ඇතුන් රහිත පෙරහැරක්'

Image caption මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන අලි ඇතුන්ගේ ඇත් ගොව්වන් පිරිසක් මහ මළුව ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට සහභාගී වී සිටියහ.

තව දින හතරකින් පැවැත්වීමට නියමිත රන්දෝලි පෙරහැරට අවශ්‍ය අලි ඇතුන් ප්‍රමාණය ලබා දීම සඳහා රජය කඩිනමින් මෙම ප්‍රශ්නයට මැදිහත් නොවුනහොත් අලි ඇතුන් රහිත පෙරහැරක කළු පැල්ලම රජයට භාර ගැනීමට සිදු වන බවයි සුදත්ත හිමියෝ වැඩි දුරටත් කියා සිටියේ.

අද දහවල් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූක ඒකනායක උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටි අතර හැකි ඉක්මනින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ සඳහා විසදුම් ලබා දෙන බව පැවසුවේය.

බීබීසි වාර්තා කරු ප්‍රසාද් පුර්ණිමාල් ප්‍රකාශ කළේ උපවාස කරුවන් මේ වන විට දළදා මාලිගාවේ පත්තිනි දේවාලය ආසන්නයේ උපවාසයේ නිරත වන බවයි.

ඊයේ දිනයේ පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කළ අතර එහි ගමන් කළේ අලි ඇතුන් 31 දෙනෙකු බව කියා සිටි මාගල්කන්දේ සුදත්ත හිමියන් අද දිනයේ උපවාසයට සමගාමීව අලි 25 දෙනෙකු පෙරහරට සහභාගී නොකිරීමට තීරණය කළ බවද පැවසූහ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට රජයේ බලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය අසාර්ථක විය.