අලි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අලි-දුම්රිය ගැටුම' විසඳීමට අධෝරක්ත කැමරා

  • 2016 අගෝස්තු 17

වන අලි ඇතුන් දුම්රියට බිලි වීම වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් සමග පළපුරුදු වනජීවී නිලධාරීන් ද යැවීමට පියවර ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඩබ්ලිව්.එස්.කේ පතිරත්න පවසයි.

ඊට අමතරව රාත්‍රී කාලයේ ප්‍රයෝජනයට ගත හැකි අධෝරක්ත කැමරා දුම්රියවල සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරන බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

ඔහු ඒ බව කියා සිටියේ මන්නාරම මඩු පාර සහ සෙට්ටිකුලම දුම්රිය ස්ථාන දෙක අතරදී දුම්රියක ගැටී වන අලින් සිව් දෙනෙකු මරුමුවට පත් වීම සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමිනි.

තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙනුයි එම ජීවිත විනාශය සිදු වී ඇත්තේ.

මරණයට පත් අලි හතර දෙනාගෙන් තුන් දෙනකුම අලි පැටවුන් බව ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ පවසයි.

පසුගියදා මැදවච්චිය පුනෑව සහ කවුඩුල්ල යන ප්‍රදේශවලදීත් ඇතින්නක හා අලියකු දුම්රියේ ගැටී මිය ගිය අතර තවත් වන අලි දෙදෙනකුට තුවාල සිදු විය.

ඒ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පොළොන්නරුව වැලිකන්ද වැනි පළාත්වල ධාවනය වන දුම්රියවල පමණක් දුම්රිය රියදුරන් සමග පළපුරුදු වනජීවී නිලධාරීන් ගමන් කරන බවයි.

දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන කිසිඳු දුම්රිය එන්ජිමක අධෝරක්ත කැමරා සවි කොට නොමැති බවත් එවැනි මිල අධික විශේෂිත කැමරා සවි කිරීමට ප්‍රතිපාදන සොයා ගැනීම ගැටළුවක් වී ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

දුම්රියේ ගැටී මරුමුවට පත් වෙමින් ශ්‍රී ලංකාවේ වන අලි සම්පත විනාශ වීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කනගාටු වන බවත් එම විනාශය වැළැක්වීම සඳහා ඉක්මන් පියවර ගන්නා බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ වැඩිදුරටත් කියා සිටියි.

සබැඳි විෂයයන්