අලිඇතුන්ට එරෙහි තවත් ආක්‍රමණයක්; ක්‍ෂය රෝගය

  • 2016 අගෝස්තු 17
වෛද්‍ය අශෝක දංගොල්ල මහනුවර ඇසළ මහා පෙරහරට සහභාගී වූ අලියකුගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරමින්
Image caption වෛද්‍ය අශෝක දංගොල්ල මහනුවර ඇසළ මහා පෙරහරට සහභාගී වූ අලියකුගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරමින්

හීලෑ අලිඇතුන් අතර ක්‍ෂය රෝගය පැතිර යමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල පවසයි.

අලින්ගෙන් ඇත් ගොව්වන්ටත් ක්‍ෂය රෝගය බෝවීමේ අවදානමක් පවතින බව කියා සිටි වෛද්‍ය අශෝක දංගොල්ල පසුගිය වසර කීපය පුරා සිදු කළ පරීක්ෂණ මගින් ඒ බව තහවුරු වී තිබෙන බවයි පෙන්වා දෙන්නේ.

වෛද්‍යවරයා එම ප්‍රකාශය කළේ මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වූ අලිඇතුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඇත් අතුරු සෙවණේ සහ පින්නවල අනාථාගාරයේ අලි ඇතුන්ටද ක්‍ෂය රෝගය වැළඳුණු අවස්ථා තිබෙන බවත් වන අලින ද ඊට ගොදුරුවන්නේද යන්න පිළිබඳ මෙතෙක් නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල පවසයි.

බළලුන්ගෙන් මිනිසාට බෝ වන 'ටොක්ෂි ප්ලාස්මා' නැමැති රෝගය අලින්ට වැළඳුණු අවස්ථා පසුගිය කාලයේ වාර්තා වී තිබෙන බවත් හීලෑ අලින්ගෙන් සියයට හැටකට පමණ පණු අමාරුව සහ ඇස්ලෙඩ තිබෙන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි.

මහනුවර ඇසළ පෙරහරට සහභාගී වන අලිඇතුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ වසර දොළහක පමණ කාලයක සිට අඛණ්ඩව සිදු කරන බවයි වෛද්‍ය අශෝක දංගොල්ල පවසන්නේ.

නිසි ප්‍රතිකාර ලබා දීමෙන් ක්‍ෂය රෝගය නිට්ටාවට සුව කළ හැකි බවත් ඓදයවරයා පෙන්වා දෙයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්