'ආණ්ඩුව පොරොන්දු කඩලා' - උතුරේ විරෝධතා

  • 2016 අගෝස්තු 22

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව පූර්ණ වාර්තාවක් සපයන බවට සහ ඔවුන් සොයා දෙන බවට රජය දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කොට නැතැයි වන්නියේ සිවිල් සංවිධාන එකමුතුව චෝදනා කරයි.

සිවිල් සංවිධාන එම චෝදනාව එල්ල කළේ නව රජයට වසරක් ගත වනතුරුත් දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටුනොකළ බවට චෝදනා කරමින් කිළිනොච්චිය නගරයේ විරෝධතාවයක යෙදෙමින්.

උතුරු පළාතේ සිදු වූ බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කර දෙන බවට වූ පොරොන්දුව පිළිබඳව කතාකිරීමෙන් පවා වැලකී සිටින බවටත් විරෝධතාකරුවෝ ආණ්ඩුවට චෝදනා කරති.

මැතිවරණ සමයේදී රජය දෙමළ ජනතාවට පොරොන්දු වූ ප්‍රකාර දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ වැසියන්ට අහිමි වූ ඉඩම් ආපසු ලබාදීම, අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම සහ සියලු යුද අනාථයින් යළි පදිංචි කිරීම ඇතුළු කරුණුවල කිසිදු ප්‍රගතියක් නැති බවත් ඔවුහු පවසති.

ඔවුන්ගේ චෝදනා ඇතුළත් සංදේශයක් විරෝධතාවය අවසානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත සහ ජනාධිපතිවරයා ඇතුලු රජයේ වගකිවයුත්තන් වෙත භාර දෙනු ලැබිණ.

සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ එම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයද පූර්ණ සහාය පළ කළ බව කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර