දූෂණ විරෝධී TISL ආයතනය 'දූෂණ විරෝධීන් දඩයමක'

  • 2016 අගෝස්තු 23

දූෂණ වංචාවලට වැට බැඳීමේ අරමුණින් ක්‍රියාකරන TISL හෙවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය දූෂණ විරෝධීන් 'දඩයමක' යෙදී සිටින බවට ක්‍රියාධරයෝ චෝදනා කරති.

වෘත්තීය සමිති ඇතුළු සංවිධාන හැටකට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් අකටයුතුනාදකයන් (Whistleblower) පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට මූලික වූ නිලධාරියාගේ සේවය අවසන් කිරීම එහි අලුත්ම පියවර බවයි ඔවුන් පවසන්නේ.

නව ප්‍රතිපත්තිය සකස් කිරීමෙන් අනතුරුව TISL ආයතනයේ වැඩසටහන් කළමනාකරුවකු වූ ආනන්ද ධර්මප්‍රිය ජයසේකර, ශාන් විජේතුංග සහ නීතිඥ ජගත් ලියනාරච්චි විසින් සිය ආයතනයේම ප්‍රධාන විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකරට දූෂණ චෝදනා එල්ලකරමින් මීට මාස කිහිපයකට ඉහතදී ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ල සම්බන්ධ විභාගය අවසන් නොකර, පැමිණිලිකරුගේ සේවය අවසන් කිරීම ඉතා බරපතල තත්වයක් බවයි දූෂණ විරෝධී සන්ධානයේ ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයට කියා සිටියේ.

Image caption ආනන්ද ජයසේකර (ඡායාරූපය), ශාන් විජේතුංග සහ නීතිඥ ජගත් ලියනාරච්චි විසින් TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල කර තිබේ

කෙසේ නමුත් දූෂණ විරෝධීන් 'දඩයම් කරන' බවට එල්ල වන චෝදනාව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරයි.

ආනන්ද ජයසේකරගේ කොන්ත්‍රාත් කාලය නිමාවීමෙන් අනතුරුව ඔහුට රුපියල් ලක්ෂ හතක දීමනාවක්ද ලබා දී ඔහුගේ සේවය නිමා කළ බවයි ආයතනයේ සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී සඳහන් කළේ.

සැඟවීමට කිසිවක් නැතිනම් වන්දි මුදලක් ලබාදුන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ එය වන්දියක් නොව, දිගු කලක් ආයතනයේ සේවය කළ පුද්ගලයකුට ලබාදුන් 'extratia' නම් දීමනාවක් බවයි.

තමන් සහ ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන නීතිඥ ජේසී වැලිඅමුණ විසින් අකටයුතුනාදකයන්ගේ පැමිණිල්ල විභාග කර, ඒ චෝදනා අති බහුතරය 'පදනම් විරහිත සහ අසත්‍ය' චෝදනා යයි ඔවුන්ට දැනුම් දුන් බවත් නීතිඥ ලක්ෂාන් ඩයස් සඳහන් කළේය. (ලක්ෂාන් ඩයස් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න)

එහෙත් අකටයුතුනාදකයෝ සභාපතිවරයාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරති.

Image caption ජෝසප් ස්ටාලින් (වමේ සිට තුන්වැන්නා) සහ ආනන්ද ජයසේකර ඇතුළු පිරිස දූෂණ විරෝධී සන්ධානයේ මාධ්‍ය හමුවක

පරීක්ෂණයේ නිගමනය සභාපතිවරයා තමන්ට වාචිකව ඉදිරිපත් කළ අවස්ථාවේ එය ලිඛිතව ලබා දෙන මෙන් පසුගිය ජුලි 29 වැනි දින තමන් ඉල්ලීමක් කළ බව සඳහන් කළ ආනන්ද ජයසේකර, එදිනම මධ්‍යම රාත්‍රියට පෙර එය ඉටු කරන බවට ඔහු එදින ප්‍රතිඥා දුන් බවත් පැවසීය.

මේ වනතුරුම සභාපතිවරයා පරීක්ෂණයේ නිගමණය ලිඛිතව ලබා නොදුන් බැවින් පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව සිය සේවය නිමා කළ බවට නීතිඥ ලක්ෂාන් ඩයස් මතුකරන තර්කය පිළිනොගන්නා බවත් ආනන්ද ජයසේකර සංදේශයට පැවසීය.

මානව හිමිකම් පිළිබඳව හඬ නගන සංවිධාන තුලත් මානව හිමිකම් ක්‍රියාත්මක විය යුතු අතර, ඒ ආකාරයටම දූෂණ විරෝධී ආයතන තුල අකටයුතුනාදකයන් (Whiltleblowers) වැනි දූෂණ විරෝධීන් ආරක්ෂා කළ යුතු බවත් ජෝසප් ස්ටාලින් අවධාරණය කළේය. (ජෝසප් ස්ටාලින් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න)

එබැවින් අදාළ පරීක්ෂණය නිමා නොවී තිබියදී අකටයුතුනාදකයාගේ සේවය නිමාකිරීම ආයතනයේ සුපිලිපන්භාවය පිළිබඳ සැක සංකා මතු කරන්නක් බවයි ඔහු පවසන්නේ.

Image caption ජාත්‍යන්තර සම්මානලාභී මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ආයතනය වෙත යොමු කළ ලිපිය

මේ අතර නිවුයෝක් නුවර සිට TISL ආයතනය වෙත ලිපියක් යොමු කරන අන්තර්ජාතික සුපිලිපන් සම්මානයෙන් පිදුම් ලැබූ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ආයතනයේ සේවකයන් මතු කළ චෝදනා පිළිබඳ විභාගය නිමාවීමට ප්‍රථම පමිනිකරුවකුගේ සේවය නිමා කළේ මන්දැයි ප්‍රශ්න කර තිබේ.

කෙසේ වුවත් ජෝසප් ස්ටාලින් සහ පෝද්දල ජයන්ත දෙදෙනාම නිසි කරුණු නොදැන අදහස් දක්වන බවයි ආයතනයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ.

කිසියම් ආයතනයක සේවකයකුගේ කොන්ත්‍රාත් කාලය හමාරයේ ඔහුගේ සේවය නිමාකිරීම ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ කෙසේ දැයි නීතිඥ ලක්ෂාන් ඩයස් ප්‍රශ්න කරයි.

එහෙත් මෙය එක් සේවකයකුගේ සේවය නිමාකිරීම පිළිබඳ කරුණක් නොව දූෂණයට එරෙහිව හඬ නගන ආයතනයක විශ්වාසනීයභාවය සහ කීර්තිනාමය සම්බන්ධ පුළුල් ගැටලුවක් බවයි වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් ඇතුළු ක්‍රියාධරයන් අවධාරණය කරන්නේ.

බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවේදී ජෝසප් ස්ටාලින් මතුකළ කරුණු ප්‍රතික්ෂේප කරමින් TISL ආයතනය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

එම නිවේදනයට ප්‍රතිචාර දක්වන නීතිඥ ජගත් ලියනාරච්චි, ජුලි 29 වැනි දින පොරොන්දු වූ ප්‍රකාර සිය චෝදනා පිළිබඳ පරීක්ෂණයේ නිගමනය හැකි ඉක්මනින් ලිඛිතව තමන් වෙත ලබා දෙන මෙන් ආයතනයේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්