'අලුත් බලවේගයක් ගොඩනැගෙමින් පවතිනවා'

  • 2016 අගෝස්තු 22
Image copyright ප්‍රසන්න රණතුංග
Image caption 'රතු අලි පැටව් ආණ්ඩුව සමඟ එකතු වීම සහ නිල් අලි පැටව් මැති ඇමතිකම් ලබා ගැනීම නිසා'

අලුත් බලවේගයක් ගොඩනැගීම සඳහා මේ වන විට අවශ්‍යතාව මතු වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බවත් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

'රතු අලි පැටව් ආණ්ඩුව සමඟ එකතු වීම සහ නිල් අලි පැටව් මැති ඇමතිකම් ලබා ගැනීම නිසා' රටේ විකල්ප බලවේගයක් ඉල්ලා සිටින ජනතාවට සවන් දීමට සිදු වන බවයි ඔහු පවසන්නේ.

'අපිටත් විකල්ප ක්‍රියා මාර්ග ගන්න සිද්ද වෙනව. අපිට හැම දේම දැන්මම කියන්න අමාරුයි. මෛත්‍රිපාල ජනාධිපති තුමත් ආප්පෙ කාල පහුවදානේ ගියේ.' ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සම්පූර්ණ සාකච්ඡාවට මෙතැනින් සවන් දිය හැකියි.

නායකත්වය පිළිනොගෙන තවදුරටත් ශ්‍රීලනිපයේ රැඳී සිටීම පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කුමන්ත්‍රණ කාරී ලෙස පක්ෂයේ සභාපති කම ලබා ගැනීමෙන් පසු එජාපයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බවයි.

'කකුළුවා ඇදේට'

'ඒ අය එදා නායකත්වය පිළිනොගෙන එලියට බැහැල කටයුතු කිරීම තමයි මේ පක්ෂයේ බෙදීම. මේක හරියට කකුළුවා ඇදේට යන ගමන් ළමයින්ට කෙලින් යන්න කියනව වගේ වැඩක් තමයි.' ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් ශ්‍රීලනිපයේ 65 වැනි සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂය සහභාගී වීම තීරණය කරන්නේ බල මණ්ඩල කැඳවා ඔවුන් ගේ වැඩි කැමැත්ත විමසීමෙන් පසුව බව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය

නමුත් ශ්‍රීලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියා සිටියේ වත්මන් නායකත්වයට සවන් නොදෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට පක්ෂයකට අයිතියක් තිබෙන බවයි.

පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට පක්ෂය තුළ රැඳී සිටීමට අවස්ථාව ලබා නොදෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්බී දිසානායක සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර