ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ගැන FCID පරීක්ෂණ

  • 2016 අගෝස්තු 23
ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ගැන FCID පරීක්ෂණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පසුගිය පාලන සමයේ සිදු වී ඇති බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඉහත කී පරීක්ෂණය ආරම්භ කළ බවයි පොලිසිය කියා සිටියේ.

ඒ යටතේ හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු එවකට පැවති ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයින් ගණනාවකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.

ඊට අදාළව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ අනුව පරීක්ෂණ සිදු කර ගෙන යන ලෙස නියම කළ අධිකරණය එහි ප්‍රගතිය සැප්තැම්බර් මස 20 වනදාට දන්වන ලෙස පොලිසියට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්