දමිළ තරුණයන් පස් දෙනෙක් එංගලන්ත මුහුදට බිලි

  • 2016 අගෝස්තු 25
Image caption තිදෙනෙකු ගොඩ ගැනීමෙන් පසු ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හෙද කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වුනත් එය අසාර්ථක විය

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රදේශයේ කැම්බර් සෑන්ඩ්ස් (Cenber Sands) වෙරළේදී මුහුදට බිලි වූ ශ්‍රී ලාංකිකයන් යැයි සැලකෙන තරුණයන් පස් දෙනෙකුගේ මළ සිරුරු පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

මුහුදට ගසා ගෙන ගිය තරුණයන් පස් දෙනාගෙන් තිදෙනෙකු ගොඩ ගැනීමෙන් පසු ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හෙද කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වුනත් එය අසාර්ථක වූ බවයි බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කරන්නේ.

මෙම තරුණයන් පස් දෙනා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දමිළ ජාතිකයන් වන අතර ඔවුන්ගෙන් හතර දෙනෙකු ශ්‍රී ලංකාවේ උතුරු පලාතෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවන් බවත් පස් වැන්නා බ්‍රිතාන්‍යයේ උපත ලද්දකු වන බවත් දැනට සනාථ වී ඇති බවයි ලන්ඩනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

මෙම තරුණයන් පස් දෙනා ග්‍රීෂ්ම සමයේ උණුසුම් දිනයක, ලන්ඩනයේ සිට මුහුදු බඩ කලාපයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අනතුර සිදු වූ ප්‍රදේශයට යවා ඇති බවත් නියෝජ්‍ය මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න ප්‍රකාශ කළේය.