අමාත්‍ය බදියුද්දීන් බරපතල වංචා විමර්ශන කොමිසම හමුවේ

  • 2016 අගෝස්තු 26

පසුගිය රජය සමයේ රට තුල සහල් අතිරික්තයක් තිබියදී සහල් ආනයනය කර රජයට පාඩු කිරීමේ චෝදනාවක් සම්බන්ධ විමර්ශනයක් වෙනුවෙන් කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.

පැය කිහිපයක් මුළුල්ලේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තමන් සතොස ආයතනය භාරගැනීමට පෙරාතුව සිදුව තිබු ඇතැම් කටයුතු පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.

"සතොස ආයතනය මම භාරගැනීමට පෙර සිදු වූ දේවල් ගැන අහන්නයි මට එන්න කියල තිබ්බේ. පරීක්ෂණ යන නිසා තොරතුරු කියන්න බැහැ. මම සතොස ආයතනය භාරගත්තට පස්සේ කිසිම වරදක් වෙලා නැහැ."

අල්ලස් කොමිසමටත්

අදාළ චෝදනාව පිළිබඳව එවකට වෙළඳ අමාත්‍ය පදවිය දැරූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන්ද මීට පෙර ජනාධිපති කොමිසම ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

මෙය තමාට එරෙහිව සිදුවන පරීක්ෂණයක් ලෙසින් හුවාදක්වමින් ඇතැම් මාධ්‍ය සාවද්‍ය තොරතුරු පලකරන බව සඳහන් කළ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්, එම මාධ්‍ය ආයතනවලට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිළිබඳව ජනාධිපති විමර්ෂණ කොමිසමෙන් විමසීමක් කළ අවස්ථාවේ එහි නිලධාරියෙක් බීබීසී සංදේශයට කියා සිටියේ, විමර්ශනයක් පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව තොරතුරු හෙළිකළ නොහැකි බවයි.

රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව පසුගිය වසරේ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමටද පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කෙරිණ.

එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන්නේද යන්න සහ එසේ විමර්ශන පැවැත්වෙන්නේ නම් එහි ප්‍රගතිය කවරේද යන්න පිළිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.