'පොලිස් කාන්තාවන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවියට කාන්තාවනුත්?

  • 2016 අගෝස්තු 29

ශ්‍රී ලංකා පොලිස් නිලධාරිනියන්ටත් පොලිසියේ ඉහලම නිලයන් හෙබවීමට අවස්ථාව සැලසෙන පරිදි උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බව ජාතික පොලිස් කොමිසම පවසයි.

දැනට පවතින අනුමත කාර්ය මණ්ඩලය (approved cadre) යටතේ පොලිස් කාන්තාවන්ට ලැබිය හැකි ඉහලම පදවිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරය වුවත්, ඔවුන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලැබීමට හැකි වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ බීබීසී සංදේශයට පැවසීය.

ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදි පොලිස්පතිවරයා පත්කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාට බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

පොලිස් නිලධාරීන් 1000 කට උසස්වීම් ලැබෙන විට එක් කාන්තාවකට උසස්වීම් ලබාදීමේ නිල නොවන ප්‍රතිපත්තියක් පවතින බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසූ විට ලේකම්වරයා කියා සිටියේ එය නිසි පරිදි කරුණු නොදැන එල්ල කරන චෝදනාවක් බවයි.

කෙසේ නමුත් අවසන් වරට කාන්තාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර හොබවා තිබෙන්නේ මීට වසර විස්සකටත් ඉහතදී. ඒ ප්‍රමිලා දිවාකර විසින්.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ මුළු නිලධාරි සංඛ්‍යාව 85,000 ක් පමණ වන අතර, ඒ අතරින් 13,000 ක් පොලිස් කාන්තාවන්.

දැනට සේවයේ නිරතව සිටින්නේ පොලිස් කාන්තාවන් 10,000 ක් පමණ බැවින් පොලිස් කාන්තාවන් 3000 කගේ පුරප්පාඩුවක් පවතින බවත් පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ වැඩිදුරටත් පැවසීය.