අතුරුදහන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන් කරවීම්: 'අපේ දරුවන්ට මොකද වුනේ'

  • 2016 අගෝස්තු 30

බලහත්කාර අතුරුදහන් කර වීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිති කර ගනිමින් ප්‍රදේශ ගණනාවක නිහඬ විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්විණ.

ඒ හා සමගාමීව යෝජිත අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට සහාය පළ කරමින් කොළඹ දී නිහඬ පා ගමනක් සංවිධානය කොට තිබිණ.

ඊට මානව හිමිකම් ක්‍රියාධරයන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

මේ අතර යුද සමයේදී අතුරුදහන් වූ සිය ඥාතීන් සහ දරුවන් සොයා දෙන ලෙස රජයට බල කෙරෙන විරෝධතා ගණනාවක් වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලද පැවැත්විණ.

අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමයේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියේ අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කිරීමට රජය විසින් කාර්යාලයක් පිහිට වනු ලැබුවත් ඊට අදාළ පනත තුළ කාර්යාලය සතු බලතල හෝ වගකීම් විස්තර කර නොමැති බවයි.

'පනතේ බලතල'

ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සැමරෙන අද(30) දින සිය සංවිධානයේ එකම අරමුණ මෙම ගැටළු සම්බන්ධයෙන් රජය දැනුවත් කිරීම බවයි ඔහු කියා සිටියේ.

පුද්ගලයෙකු අතුරුදන් කළ අයකුගේ නම, ලිපිනය, රැකියා ආයතනය ඉතා පැහැදිලි ලෙස ඔප්පු කිරීමට සාධක ඇතත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් කොට වරදකරුවන්ට දඬුවම් දීමට හැකි බලයක් එම පනතට ඇතුළත් විය යුතු බව සුන්දරම් මහේන්ද්‍රන් පෙන්වා දෙයි.

එසේ නොමැති නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසම වැනි ඵල රහිත තත්ත්වයකට නව රජය ඉදිරිපත් කළ පනතද පත් වන බව ජනාධිපතිවරයා වෙත සංදේශයක් යවමින් අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමය පවසයි.

අතුරුදන් වූවන්ගේ තොරතුරු හෙලි කරන ලෙස රජයට බල කරමින් ත්‍රිකුණාමල නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයට සහභාගී වූ විරෝධතාකරුවන් චෝදනා කළේ වත්මන් රජයේ සංහිඳියා යන්ත්‍රණය පරණගම කොමිසමටත් වඩා ප්‍රෝඩාකාරී එකක් බවටයි.

'හැට පන්දහසක් අතුරුදහන්'

කිසිවිටකත් යුද්ධයට සම්බන්ධ නොවූ තම ඥාතීන් පැහැර ගෙන යාම බරපතළ අපරාධයක් බව පැවසූ ඔවුහු අතුරුදහන් වූවන් ගැන සෙවීම ජාත්‍යන්තර අධිකරණයකට භාර කරන ලෙස රජයට බල කර සිටියහ.

යුද සමයේ සිදු වූ දහස් ගණනක් අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

යුද්ධයේ අවසන් කාලය තුළ 16,000 සිට 22,000 දක්වා පිරිසක් අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයකු වන හුවාන් මෙන්ඩිස් පවසයි.

1983 වසරේ සිට ගැටුම් පැවති කාලය දක්වා 65,000 ක පිරිසක් අතුරුදහන් වී ඇති බව සංහිඳියා කාර්යාලයේ ප්‍රධානී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියි.