සැකකරුට වෙඩි තැබූ ලුතිනන්ට දඬුවම්

  • 2016 අගෝස්තු 31
Image copyright Getty Images
Image caption සැකයකින් තොරව චෝදනා ඔප්පු වී ඇති බවයි අධිකරණය පවසන්නේ

අත් අඩංගුවේ සිටියදී පලා යාමට තැත් කළ කොටි සැකකරුවෙකුට අපරීක්ෂාකාරී ලෙස වෙඩි තබා ඔහුගේ මරණය සිදු කිරීමේ චෝදනාවට හිටපු යුද හමුදා ලුතිනන්වරයෙකු වරදකරු වෙයි.

ඒ අනුව විත්තිකරුට වසර දහයකට අත් හිටවූ දෙවසරක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ගෙවන මෙන් නියම කළේය.

විමල් වික්‍රමගේ නමැති හිටපු යුධ හමුදා ලුතිනන්වරයාට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ 1998 වසරේ පේදුරුතුඩුව යුධ හමුදා කඳවුරේ රඳවා සිටි රොබට් වොලින්ටන් නමැති කොටි සැකකරුවෙකු අත් විලංගු සහිතව පලා යාමට උත්සාහ කර ඇති බවයි.

'සැකයකින් තොරව'

එම අවස්ථාවේ දී විත්තිකරු සිදු කළ අපරීක්ෂාකාරී වෙඩි තැබීම හේතුවෙන් අදාළ සැකකරුගේ මරණය සිදු වී ඇති බවයි නීතිපතිවරයා ඉදිරිපත් කළ අධි චෝදනාවල සඳහන් වන්නේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ විත්ති පාර්ශවය චෝදනාවලින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලීමක් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අධිකරණය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි ප්‍රකාශ කළේය.

මෙම තීන්දුවට එරෙහිව ඉහල අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව විත්ති පාර්ශවයේ නීතිවේදියා කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර