ගෝඨාභයට නොතීසි, නාමල් උසාවියේ

  • 2016 සැප්තැම්බර් 1
Image copyright AFP
Image caption වත්මන් රජය පොරොන්දු ඉටු කිරීම පසෙක තබා මර්දන ක්‍රියාදාමය අරඹා ඇති බව නාමල් රාජපක්‍ෂ පවසයි

සැප්තැම්බර් 30 වනදා උසාවියේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට අධිකරණය නොතීසි නිකුත් කරයි.

2012 වසරේ සිට 2015 වසර දක්වාවූ කාලසීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඊයේ (31) ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව නඩු පවරන ලදී.

නාමල් රාජපක්‍ෂ

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට අදාළ පරීක්ෂණ අවසන් කොට වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 45 ක මුදලක් යොදා හෙලෝකෝප් නමැති සමාගමකින් කොටස් මිල දී ගත් බවට නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

උසාවියට පැමිණ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යයට කියා සිටියේ වත්මන් රජය පොරොන්දු ඉටු කිරීම පසෙක තබා මර්දන ක්‍රියාදාමය අරඹා ඇති බවයි.

මෙම නඩුව නැවත දෙසැම්බර් මස 08 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය.