නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමින් නව ශාක විශේෂයක්

  • 2016 සැප්තැම්බර් 4
4. කෙකටිය ශාකය ජලයේ දිස්වන අයුරු
Image caption කෙකටිය ශාකය ජලයේ දිස්වන අයුරු

සූරියකන්ද 'මෝනිං සයිඩ්' හෙවත් 'අරුණාලෝක අඩවියේ' දොළ මාර්ගයක තිබී සොයා ගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් හඳුන්වනු ලබන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ලෙසින් නම් කළ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.

ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි (Aponogeton kannangarae) ලෙස නම් කොට ඇති ඉහත කී කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ ශාක විශේෂයක් වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

කෙකටිය විශේෂය හමු වී ඇත්තේ අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණක් බවත් සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙස දෙසට වන්නට එම ස්ථාන පිහිටා තිබෙන බවත් පරිසරවේදීහු කියා සිටිති.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ සිදු කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී ඉහත කී කෙකටිය විශේෂය හමු වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති පරිසරවේදී මධුර ද සිල්වා පවසයි.

එය මෙතකේ ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි උපකල්පනය කොට ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ බවත් ඔහු කියා සිටියේය.

ඉන් වසර හතරකට පසුව 2016 අගෝස්තු මාසයේ දී එම කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර ගනු තිබේ.

'ආවේනික ශාක'

Image caption නව කෙකටිය විශේෂය හමුවූ දොළ මාර්ගය

මේ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව 'ජාත්‍යන්තර පයිටොටැක්සා' නම් විද්‍යා පර්යේෂණ සඟරාවේ අගෝස්තු 31 වැනි දින කලාපයේ ප්‍රසිද්ධියට පත් කොට ඇත.

ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි (Aponogeton kannangarae) ශාකය සොයා ගැනීමට පෙර මෙරට වාර්තා වී තිබුණේ කෙකටිය විශේෂ හතරක් පමණි.

කෙකටිය ශාකය ඇපනොජෙටෝන් (Aponogeton) යන ඝන නාමයෙන් හඳුන්වන අතර මෙතෙක් හමුවී තිබූ විශේෂ හතරෙන් හෝටන් තැන්න හා නුවරඑළියේ දක්නට ලැබෙන ඇපනොජෙටෝන් ජාකොබෙන්සි (Aponogeton jacobensii) හා පහතරට තෙත් කලාපයේ හමුවන ඇපනොජෙටෝන් රිජිඩිෆෝලිඅස් (Aponogeton rigidifolius) නම් කෙකටිය විශේෂ දෙක ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබිණි.

නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කෙකටිය විශේෂ සංඛ්‍යාව පහ දක්වා ඉහළ යන අතර ආවේණික කෙකටිය විශේෂ සංඛ්‍යාව තුනක් බවට පත්වෙයි.

අදාළ සොයා ගැනීම සිදු කර ඇත්තේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් වන මධුර ද සිල්වා, සුපුන් දේශප්‍රේම සහා ප්‍රින්ස් මනම්පේරි යන පරිසරවේදීන් විසිනි.

'ජාත්‍යන්තරයේ අමරණීයයි'

Image caption නව කෙකටිය විශේෂය හමුවූ අරුණාලෝක අඩවිය

මෙහි විශේෂත්වයක් වන්නේ අදාළ ශාකය මෙරට පර්යේෂකයන් විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ පළමු ජලජ පැලෑටි විශේෂය වීමයි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් සියලුම ජලජ පැලෑටි පිළිබඳ පර්යේෂණ සිදුකර ඒ පිළිබඳ වාර්තා කර තිබෙන්නේද විදේශිකයන් විසිනි.

අවසන් වරට මෙරටින් නව ජලජ පැලෑටි විශේෂයක් හමු වී ඇත්තේ අදින් වසර 31 ට පෙර 1985 වසරේදී.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාගේ නම උද්භිද විද්‍යාව පවතින තුරු ජාත්‍යන්තරයේ අමරණීය කිරීමට හැකියාව ලැබුණු බවයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ.

නව ශාකය අරුණාලෝක අඩවියට ස්ථානීය අවේණිකත්වයක් දක්වන බැවින් එම ස්ථානයේ ජෛවවිද්‍යාත්මක වටිනාකම ද ඉතා ඉහළ අගයක් ගෙන තිබෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්